මෙරටට අවශ්‍ය තෙල් මිලදී ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ඉල්ලයි

මෙරට තෙල් අවශ්‍යතාව සඳහා එක්සත් අරාබි එමීර රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා සිටීමට රජය කටයුතු යොදා ඇතැයි පවසයි.

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙහිදී ඒ මහතා දැනුවත් කර ඇත.

ඊට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු වන බව පවසා ඇති අල් ජාබර් අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව ඒ පිළිබඳව ඉක්මනින් පසු විපරම් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟ වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය කැපවීම අමාත්‍යවරු දෙදෙනාම යළි තහවුරු කළ බවත් එම අමාත්‍යාශය සඳහන් කරයි.

විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් මැතිතුමා සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ඉක්මනින්ම එතුමාව ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කර තිබේ.

එසේම 2023 දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියට (COP 28) සත්කාරකත්වය ලබා දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නාමයෝජනා ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව එතුමා සඳහන් කර තිබේ.

Visits: 129