කොවිඩ්-19 රැළි මැද වුවත් මෙරට දේපළ ඉඩකඩම් මිල වටිනාකම් තවදුරටත් ස්ථාවරව

2020 වසරේ දෙවැනි කාර්තුවේ සිට 2021 දෙවැනි කාර්තුව දක්වා වන කාලසීමාවේදී සමස්තයක් ලෙස මෙරට නේවාසික ඉඩම් මිල (පර්චසයක් සඳහා) 44.19%කින් ඉහළ ගොස් ඇතැයි මෙරට ඉඩම් සහ දේපළ වෙළෙඳාම් පිළිබඳ දැන්විම් පළ කරන සහ සමීක්ෂණ සිදු කරන වෙබ් අඩවියක් වන ‘ලංකා ප්‍රොපර්ටි වෙබ් (LankaPropertyWeb)‘ පවසයි.

එම වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද ආසන්නතම සමීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම කරුණු අනාවරණය කර තිබේ. මේ අතර නිදන කාමර හතරක් සහිත නිවාසයක අලෙවි මිල 2020 වසරේ දෙවැනි කාර්තුවේ සිට මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා කාලය තුළ 15.68%කින් ඉහළ නැග තිබේ. එසේම නිදනකාමර තුනක් සහිත මහල් නිවාසයක (apartment) මිල ගණන් 2.64%කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් කොළඹ නගරය ගෙන බැලූ විට 2021 පළමු කාර්තුව හා සැසඳීමේදී දෙවැනි කාර්තුවේදී මහල් නිවාස අලෙවියේ වටිනාකම්හි සාමාන්‍ය 3.1%කින් ඉහළ ගොස් ඇත. එහිදී නිදන කාමර තුනක් සහිත මෙම මහල් නිවාසයක අලෙවි මිලෙහි සාමාන්‍ය රුපියල් මිලියන 49.93ක් ලෙස සටහන්ව තිබේ. එසේම මෙම මහල් නිවාස සඳහා වන විමසන මිල පිට පිට කාර්තු තුනකදීම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව පවසන ලංකා ප්‍රොපර්ටි වෙබ් අඩවිය, මෙම වටිනාකම් 2018 වසරේ පැවැති මට්ටම් වෙත නැවතත් ළගා වෙමින් සිටින බවත් පවසයි.

“ මෙහිදී විශේෂයෙන්ම ඉදිකිරීම් පිරිවැයෙහි සිදුව ඇති ඉහළ යාම මෙන්ම නිවාස මිලදී ගන්නන් විසින් මෙය මහල් නිවාසයක් සඳහා ආයෝජනයට සුදුසුම අවස්ථාව බවට කල්පනා කිරීමත් හේතුවක්. මොකද ඉහළ යමින් පවතින ඉදිකිරීම් පිරිවැය අනුව අනාගතයේදී මේ මිල ගණන්වලට අලුත් ඉදිකිරීම් සිදු කරන්න බෑ වගේම, මේ මිලට අලුතින් මිලදී ගන්නත් බැරි වෙනවා.” ලංකා ප්‍රොපර්ටි වෙබ් පවසයි.

තවදුරටත් මේ පිළිබඳව අවධානය යොමු කරන එම වෙබ් අඩවිය, සිය වෙබ් අඩවියේ ලැයිස්තුගත මිල ගණන් අනුව කොළඹ පිහිටි නිදන කාමර හතරක් සහිත නිවාසයක සාමාන්‍ය මිල මේ වසරේ දෙවැනි කාර්තුවේදී මිලියන 170.84ක් බව පවසයි. මේ අතර නිදන කාමර තුනක් සහිත මහල් නිවාසයක මිලෙහි සාමාන්‍යයක් ලෙස මිලියන 51.57ක අගයක් ගෙන තිබේ.

ඒ අනුව කොළඹ නගරයෙහි නිවාස සහ මහල් නිවාස මිල ගණන්හි වටිනාකම්වල සමස්ත වෙනස පිළිබඳව සිදු කරන සැසඳීමකදී ඉතාමත් පැහැදිලිවම කොළඹ නගරසීමාවෙහි පවතින දේපළ සඳහා වන නිරන්තර ඉල්ලුමෙහි වර්ධනයක සාක්ෂි හඳුනාගත හැකි බවත් ලංකා ප්‍රොපර්ටි වෙබ් පවසයි.

“විශේෂයෙන්ම දැනට මාස තුනකට පෙරාතුව සම්මත වුණු 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනතත් ඊට හේතුවක්. ඉදිරියේදී කොළඹ වරාය නගරයේ සිදුවන සංවර්ධන කටයුතුත් සමග නේවාසික ඉඩම් සඳහා වන ඉල්ලුම ඉහළයාමත් සමගින්ම කොළඹනගර සීමාවේ පවතින ඉඩම්වල මිල ගණන් ඉහළ යාමක් සිදු වෙතැයි බලාපොරොත්තු තබා තිබෙනවා.” ලංකා ප්‍රොපර්ටි වෙබ් පවසයි.

මෙම අධ්‍යයනයට අනුව ඉඩම් සැලකීමේදී 2021 දෙවැනි කාර්තුවේදී මෙරට ඉඩම් කොටසක අලෙවි මිලෙහි සාමාන්‍ය රුපියල් මිලියන 2.48කි. කෙසේ වෙතත්, කොළඹ නගරයේ නේවාසික ඉඩම් මිල ගණන් පර්චසයක් සඳහා මිලියන 11.92ක් ලෙස සටහන්ව ඇත. රටෙහි සමස්ත ඉඩම් මිල ගණන් හා සැසඳීමේදී එය 79%ක ඉහළ අගයකි.

මෙහිදී කොළඹ නගරයට අමතරරව බස්නාහිර පළාතේ ඉඩම් මිල ගණන්ද 2021 පළමු කාර්තුව හා සැසඳීමේදී දෙවැනි කාර්තුවේදී 19%කින් ඉහළ ගොස් තිබේ. එසේම ඌව පළාතේ ඉඩම් මිල ගණන් 18%කින් පහත වැටී ඇත.

“ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් වගේ නෙමෙයි ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ COVID-19 රැළි තුනකටත් මුහුණ දෙමින් ඉතාමත් ස්ථාවරව පැවතීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වසංගතය හට ගත් පසුගිය වසරේ දෙවැනි කාර්තුව සහ එය වඩාත් දරුණු අතට පත් වූ මේ වසරේ දෙවැනි කාර්තුව අතරතුරදී, මෙම දේපළ මිල ගණන් තවදුරටත් අඩු වාෂ්පශීලීතාවකින් (මිල ඉහළ පහළ යෑමකින්) පැවතුණා” යනුවෙන්ද ලංකා ප්‍රොපර්ටි වෙබ් සඳහන් කරයි.

බස්නාහිර පළාතේ ඉඩම් මිල ගණන්හි සාමාන්‍යයේ උච්චාවචනය
2020 පළමු කාර්තුව සහ 2021 පළමු කාර්තුව අතරතුරදී බස්නාහිර පළාතේ නගර 7ක් තුළ ඉඩම් මිල ගණන් 50%කට වඩා වැඩි සාමාන්‍ය අගයකින් ඉහළ ගොස් තිබේ. එහිදී කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයේ තුළ ඉඩම් මිල ගණන් 109%කින් ඉහළ නැග ඇත. එසේම රාගම ප්‍රදේශය තුළ ඉඩම් මිල ගණන් 76%කින් ඉහළ ගොස් තිබේ. පාදුක්ක ප්‍රදේශයේ ඉඩම් මිල ගණන් 74%කින් ඉහළ ගොස් ඇති අතර අංගොඩ ප්‍රදේශයේ 69%කින්ද, දොම්පේ සහ පෑලියගොඩ ඉඩම් මිල ගණන් පිළිවෙලින් 67%කින් සහ 62%කින්ද ඉහළ ගොස් ඇතැයි ලංකා ප්‍රොපර්ටි වෙබ් අපවසයි.

එසේම මොරටුව ප්‍රදේශයේ ඉඩම් මිල ගණන්ද 56%කින් ඉහළ ගොස් ඇති අතර ආසන්න කාලසීමාවේදී ඉල්ලුම ඉහළ ගිය ප්‍රදේශයක් ලෙස මොරටුව රාවතාවත්ත හඳුනාගෙන තිබේ.

“මෙම කාලසීමාවේදීම, සැලකිය යුතු නගර කිහිපයකම ඉඩම් මිල වටිනාකම්හි සාමාන්‍යයේ අඩුවීමක්ද දක්නට ලැබෙනවා. රාජගිරිය, අතුරුගිරිය, ගම්පහ, ගොතටුව, කැස්බෑව සහ මීගමුව ඊට ඇතුළත්. ඉහළ ඉල්ලුම නිසා ඉඩම් මිල ඉහළ යන දෙහිවල නගරයේ ඉඩම් මිල ඉහළ ගොස් ඇත්තේ 4%කින් පමණයි. ගල්කිස්සේදී එය 8%කින්, කැලනියේදී එය 13%කින් සහ රත්මලානේදී එය 20%කින් වගේම තලවතුගොඩ ප්‍රදේශයේදී ඉඩම් මිල ඉහළ ගොස් ඇත්තේ 17%කින්.” ලංකා ප්‍රොපර්ටි වෙබ් සඳහන් කරයි.

මෙම වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ඉහත සඳහන් කර ඇති වටිනාකම් සහ ප්‍රතිශතයන් ලංකාප්‍රොපර්ටි වෙබ් අඩවිය තුළ ලැයිස්තුගත කර ඇති ඉඩම් අයත් සමස්ත ප්‍රදේශය සඳහා වන සංඛ්‍යාලේඛන පිළිබිඹු වන ආකාරයෙන් සකස් කර තිබේ. එහිදී අදාළ ප්‍රදේශයෙහි ඉඩම් වටිනාමක් සඳහා එම ඉඩම් සඳහා ආවේණික වූ විවිධ වෙනස්කම් පවතින බවත් ලංකා ප්‍රොපර්ටි වෙබ් අවධාරණය කරයි.

Visits: 228