ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විවිධත්ව, සාධාරණත්ව සහ අන්තර්කරණ සන්නාමය ‘ONE JKH’

ජෝන් කීල්ස් සමූහය වසර 150 කට අධික කාලයක් තිස්සේ, රැකියා ස්ථානය තුළ විවිධත්වය අගය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇතැයි සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම උත්සාහයන් තුළදී පැහැදිලිව පෙනී ගොස් ඇති කරුණක් නම්, ගෞරවය, අභිමානය හා සාධාරණත්වය මුල්කරගෙන සලකනු ලබන අවස්ථාවන් වලදී කාර්ය මණ්ඩලය වඩාත් හොඳින් හා සතුටින් රාජකාරි කරන බව යැයිද එම සමූහය පවසයි.

මේ ඔස්සේ ජෝන් කීල්ස් සමූහයෙහි, අව්‍යාජත්වය, ගෞරවය, විශ්වාසය සහ අන්තර්කරණය යනගුණාංගවලට පැහැදිලි වටිනාකමක් හිමිවන රැකියාස්ථානයක් බවට පත්වී තිබේ.

මේ ආකාරයට විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් සහ ඒවායෙහි වැදගත්කම වඩාත් හොඳින් සන්නිවේදනය කිරීම සඳහා විශේෂ සන්නාමයක් ලෙස පසුගිය වසරේදී ‘ONE JKH’ හඳුන්වා දී ඇත.

ජාතිය, ආගම, ලිංගික හැඩ ගැස්ම සහ අනන්‍යතාව, වයස සහ හැකියාව ආදිය පිළිබඳව කිසිදු භේදයකින් තොරව ජෝන් කීල්ස් සමූහය තුළ කාටත් සමතැන් හිමිවන බව සහතික කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.‘ONE JKH’ලාංඡනය සඳහා භාවිතා කර ඇති වර්ණ මගින්ද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම, ආබාධිතභාවය හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ LGBTIQ අනන්‍යතාවන් සහිත පුද්ගලයන්ද නියෝජනය වී ඇතැයිද සමූහය පවසයි.

“පසුගිය වසර 5 ක කාලය තුළ, විවිධත්වයේ විවිධ පැතිමානයන්ට අදාළව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ප්‍රධාන පෙළේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ. ස්ත්‍රී පුරුෂ විවිධත්වය සම්බන්ධයෙන් ගත් විට, තීරණ ගැනීමේ මට්ටම් ඇතුළුව සමස්තයක් ලෙස සමාගම තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ අරමුණින් IFC SheWorks Sri Lanka සහ, එක්සත් ජාතීන්ගේ ‘Global Compact’ හි වැඩසටහනක් වන ‘Target Gender Equality’ සමග අත්වැල් බැඳගැනීමට ජෝන් කීල්ස් සමූහය කටයුතු කළේ ය. Global Shapers Disability Summit වැඩසටහනටද දායක වූ ජෝන් කීල්ස් සමූහය, තම ව්‍යාපාරික ස්ථාන තුළ වඩාත් පහසුවෙන් රෝද පුටු භාවිතා කිරීමේ පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.“

LGBTIQ අනන්‍යතාවන් සහිත පුද්ගලයන් සිය අන්තර්කරණ ප්‍රතිපත්ති මගින් ආවරණය කිරීමට නිල වශයෙන් කටයුතු කළ ප්‍රථම ශ්‍රී ලාංකික සමාගම ජෝන් කීල්ස් සමූහය වීම විශේෂත්වයකි. මේ සඳහා, අදාළ සියලුම ප්‍රතිපත්ති වලදී අන්තර්කරණය මුල්කරගත් වචන මාලාවන් භාවිතා කරන ලද අතර, EQUAL GROUND හරහා දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාවට නංවා ඇත.

එමෙන්ම Grassrooted Trust සහ National Transgender Network සමග එක්වී සේවක අදහස් හාගැටලු හඳුනා ගැනීම සහ අවශ්‍ය පිළියම් යෙදීම සඳහාද සමාගම කටයුතු කරමින් සිටී. තවද 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසුව, රටේ ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමේ අරමුණින් ‘එකමුතුකම අපේ ශක්තියයි. එකම දැයක් ලෙස එක්ව නැගී සිටිමු’ යන තේමාවෙන් යුත් ප්‍රවර්ධන වැඩසටහනක් දීපව්‍යාප්ත මට්ටමකින් ක්‍රියාවට නැංවීම සිදු වී තිබේ..

කාන්තාවන් සවිබල ගැන්වීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන්, තම කාර්ය මණ්ඩලය හා සැපයුම් දාමය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට ජෝන් කීල්ස් සමූහය දැඩි ලෙස අවධානය යොමුකර තිබේ. වසර 5 ක කාලයක් තුළ තම කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජනය 40% ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව සමාගම 2021 වසරේදී නිවේදනය කර ඇත.

මෙහි එක් පියවරක් ලෙස, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමේ සහයෝගය හා මගපෙන්වීම යටතේ, සමාගමේ සියලුම මට්ටම් සඳහා කාන්තාවන් බඳවා ගැනීම සහ ඔවුන් සමාගම තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් පෙළක් ක්‍රියාවට නැංවූ බවත් සමූහය පවසයි..

මීට අමතරව මාතෘ හා පීතෘ නිවාඩු ක්‍රම වැඩිදියුණු කිරීම, වඩාත් නම්‍යශීලී රැකියා විධිවිධාන හඳුන්වා දීම, සමාගමේ සහයෝගය සහිතව දරුවන් රැකබලා ගැනීමේ ක්‍රම හඳුන්වා දීම, කාන්තාවන් කේන්ද්‍ර කරගත් පුහුණු හා උපදේශන ක්‍රම ක්‍රියාත්මකකිරීම, සමාගම තුළ කාන්තාවන්ට දැරිය හැකි සාම්ප්‍රදායික නොවන තනතුරු හඳුනා ගැනීම, එම තනතුරු වෙනුවෙන් කාන්තාවන් බඳවා ගැනීම සහ ඔවුන් රඳවා ගැනීමේ වැඩසටහන් මෙන්ම, අචේතනික නැඹුරුතාවයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හා සාකච්ඡා කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම යනාදියද මෙම පියවර අතරට ඇතුළත් වී ඇතැයිද ජෝන් කීල්ස් සමුහය වැඩිදුරටත් පවසයි.

Visits: 112