තරුණ විරැකියාව 12%ක් දක්වා අඩු කිරීමට ‘යෞවනයේ බලාපොරොත්තුව’ එයි

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව රටෙහි සංවර්ධන ක්‍රියාවලිය වෙත සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ අරමුණින් ‘යෞවනයේ බලාපොරොත්තුව – Hope for Youth’ නමින් ජාතික තරුණ සංවර්ධන වැඩසටහනක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි.

ඊයේ පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.

2019 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ ‘යොවුන්පුරය’ වැඩසටහන වෙනුවට 2021 වර්ෂයේ සිට මෙම ‘යෞවනයේ බලාපොරොත්තුව – Hope for Youth’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තුව වෙයි.

විශේෂයෙන්ම තාරුණ්‍යය මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කෙරෙන බව පැවසෙයි.

අද වනවිට මෙරට තුළ 28% ක්ව පවතින තරුණ තරුණියන්ගේ විරැකියාව 12% දක්වා අඩු කිරීම මෙම වැඩසටහනෙහි මූලිකම අරමුණ බව රජය පවසයි.

මෙහිදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ඉලක්ක කර ගනිමින් ජාතික තරුණ සේවා සභාව හරහා මෙම ‘යෞවනයේ බලාපොරොත්තුව – Hope for Youth’ ක්‍රියාත්මක කිරීමට යෝජනාව වී තිබේ.

දැනට පවතින දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 15-29ත් අතර වන සමස්ත තරුණ ජනගහනය 23.2%ක් වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් මිලියන 5.6ක් පමණ වේ.

Visits: 87