EXPO වටිනාකම් ඉහළ යාමෙන් දර්ශක අගයන් යළි ඉහළට

අද (සැප්තැම්බර් 22) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි කොටස් වටිනාකම් ඉහළ යාම ඊට හේතුව වී තිබේ. මේ අතර ඊයේ දිනයේදී දැකගත හැකි වු හෝටල් සමාගම් සඳහා වන ආයෝජක ආකර්ෂණය අද දිනයේදී යම් තරමක අඩුවීමක් දැකගත හැකි වූ බවත් එම සමාගම් පවසයි.

එසේම අද දිනයේදීද වෙළෙඳ පොළ තුළ ලාභ ඉපැයීමේ අවස්ථා තවදුරටත් දැකගත හැකිව තිබේ. මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් තුළ විදේශයන්හි සිට විදේශයන් අතර සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම ඉහළ යාම සඳහා දායක වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,766.53ත් ඒකක 8,836.85ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,788.05ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 21) දිනයට සාපේක්ෂව ඒකක 17.66ක් එනම් +0.20%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, රේණුකා හොටෙල්ස් පීඑල්සී, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ඡන්ද හිමි කොටස් තුළ සිදු වූ සිදුවූ ගනුදෙනුව පිරිවැටුමෙන් 28.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 97ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 88ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+14.26), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.36), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.96), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී CLC (+2.86), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+2.55), ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-3.48), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-3.47), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.22), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.06), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.81යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,283.50ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 21) ‍ට සාපේක්ෂව ඒකක 16.71ක එනම් +0.51%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.56ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 21) වාර්තා කළ රුපියල් බිලියන 1.71ට සාපේක්ෂව 50% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.916ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 32.27%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 520.46ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 599.75ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 79.29කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43.21ක්ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.43 කි. එසේම සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී ඡන්ද හිමි කොටස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 47.64ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 908ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 35%කි. එසේම ප්‍රවාහන අංශය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 409ක සහ රුපියල් මිලියන 304ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 304