හෝටල් සමාගම් කෙරෙහි ආකර්ෂණය ඉහළ යද්දී සති පහකට පසු අඩුම පිරිවැටුම වාර්තා කරයි

අද (සැප්තැම්බර් 21) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්වල කොටස් වටිනාකම් පහළ වැටීමක් සිදුවිම ඊට මූලිකවම හේතුව වී තිබේ.

එසේම ඉදිරියේදී කොටස් මිල ඉහළ යා හැකි යැයි පැවති බලාපොරොත්තුවත් සමගින් හෝටල් සමාගම් තුළ කොටස් වටිනාකම් යම් ප්‍රමාණයකින් ඉහළ යාම සිදු විය. විශේෂයෙන්ම බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීම ඊට හේතු විය.

මේ හේතුවෙන් වෙළෙඳ පොළ තුළ ආයෝජක උනන්දුව යම් තරමින් ඉහළ යාමක් සිදු වුවත්, දිනයේ සමස්ත පිරිවැටුම සති පහකට පසුව වෙළෙඳ පොළ තුළ වාර්තා කළ අඩුම පිරිවැටුම බවටද පත්විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,725.42ත් ඒකක 8,804.19ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,770.39ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 17) දිනයට සාපේක්ෂව ඒකක 31.56ක් එනම් -0.36%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සම්පත් බැංකුවෙහි සිදු වූ සිදුවූ ගනුදෙනුව පිරිවැටුමෙන් 8.7%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 78ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 109ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+4.77), ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (+4.57), එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී AHUN (+4.3), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+4.04), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+3.92), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-14.13), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-10.97), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-6.45), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-5.72), හේලීස් පීඑල්සී HAYL (-4.04යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,268.55ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 17) ‍ට සාපේක්ෂව ඒකක 25.08ක එනම් -0.76%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.71ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 17) වාර්තා කළ රුපියල් බිලියන 3.8ට සාපේක්ෂව 55% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.914ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 32.0%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 27.02ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 28.08ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 1.07කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43.13ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටීජේලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.5 කි. එසේම බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 9.8ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 310ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 18%කි. එසේම ප්‍රවාහන අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 296ක සහ රුපියල් මිලියන 279ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 458