ශ්‍රී ලංකාවේ පළමු විදුලි බයිසිකලය ලෙසින් වෙළෙඳ පොළට එන RHODA

මෙරට තුළ කාබන් විමෝචනයෙන් තොර පරිසර හිතකාමී තිරසාර ගමනාගමන කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් RHODA (PVT) LTD සමාගම මගින් ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදී ඇති RHODA විදුලි බයිසිලය මේ වනවිට ඉතාමත් වේගයෙන් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව එහි නිෂ්පාදකයන් පවසයි.

ශ්‍රී ලංකාවේ නිර්මාණයක් සහ නිෂ්පාදනයක් ලෙස මෙය හඳුන්වාදී තිබේ. බැටරියක් සහ මෝටරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන මෙම විදුලි බයිසිකලය, අවශ්‍ය විට පැඩල ආධාරයෙන් පැදගෙන යාමේ හැකියාවද පවතී.

ඊයාස් ෆාසුල්, ෆාසුල් මවුජූඩ් සහ ලී බසල්ජෙට් අතර ආරම්භක සහ හවුල්කාරිත්වයක් ලෙස මෙම RHODA (PVT) LTD බිහිව ඇත. 

මෙහිදී එම සමාගම මේ දක්වා RHODA AT (RHODA All Terrain), RHODHA AT SS (Stainless Steel) සහ Founders Edition ලෙස ආකාර තුනකින් සිය නිෂ්පාදන ඉදිරිපත් කර ඇත.

මේ අතරින් සමාගම මගින් දැනට ප්‍රවර්ධනය කරන RHODA AT විදුලි බයිසිකල් මාදිලියට පැය 4ක එක් ආරෝපණවාරයකදී කිලෝමීටර් 60ක දුරක් පැද යා හැකි බව සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඉයාස් ෆසූල් පවසයි.

“ලංකාව තුළ තිරසාර ගමනාගමන අවශ්‍යතාවය වෙනුවෙන් පළමුවරට තමයි මේ ආකාරයෙන් විදුලියෙන් ක්‍රියාත්මක යතුරු පැදියක් හඳුන්වා දෙන්නේ. මෙය ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. මෙම නිෂ්පාදන අතරින් RHODA AT යතුරු පැදියට එක් ආරෝපණ වාරයකදී කිලෝමීටර් 60ක දුරක් පැද ගෙන යාහැකියි. මෙම ආරෝපණයකට වැය වෙන්නේ විදුලි ඒකක භාගයයි. ඒ කියන්නේ රුපියල් 12යි. කිලෝමීටරයකට ශත 20ක් වගේ සුළු මුදලක්.”

මේ අතර මෙවැනි RHODA AT යතුරු පැදියක් පැද යාම මගින් සිදු කරන කාබන් විමෝචනය, සාමාන්‍ය ඇවිදීමකදී අප විසින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හා සැසඳීමේදී අඩු අගයක් ගන්නා බවත් සඳහන් වෙයි.

“මෙම RHODA AT යතුරු පැදියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 25ක්. මෙම යතුරු පැදිය සඳහා දැනට රටෙහි පවතින නීතිය අනුව කිසිදු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් හෝ ලබා ගැනීමට නොමැති වීම විශේෂත්වයක්.” යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මේ අතර සිය ස්මාට් ෆෝන් උපාංගයට ඉන්ස්ටෝල් කරගන්නා ඇප් වැඩසටහන යොදා ගනිමින් මෙම යතුරු පැදියේ ක්‍රියාකාරීත්වය පාලනය කිරිමට හැකියාව ලැබීමත් කැපී පෙනෙන අවස්ථාවකි.

මෙම නිෂ්පාදන අතරින් RHODA AT (RHODA All Terrain) යතුරුප පැදියක් රුපියල් 159,000ක මිලකට මිල කෙරී ඇත. RHODHA AT SS (Stainless Steel) යතුරු පැදියක් රුපියල් 189,000 කි. රුපියල් 189,000කට මිල කෙරී ඇති Founders Edition යතුරු පැදිය අද වනවිට මිලදී ගත නොහැකි බවද සමාගම පවසයි.

මෙහිදී පෙර ඇනවුම් හරහා මෙම RHODA AT මිලදී ගැනීමේ අවස්ථාව පවතී. ඒ අනුව ඇනවුම සිදු කර දින 30ක් ඇතුළතදී පරීක්ෂණ ගමනක් සඳහා අවස්ථාව හිමි වන බවත්, දින 90ක් ඇතුළතදී මුදල් ගෙවීමෙන් අනතුරුව මෙම යතුරු නිවෙසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවත් සඳහන් වෙයි.

Visits: 304