මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව ජනපති හා ක්වේට් අගමැති අතර හමුවක් නිව්යෝර්හිදී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේටයේ අගමැති ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා (Sheikh Sabah Al – Hamad Al- Sabah) මහතා අතර හමුවක් පසුගිය 19 වැනිදා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කර ඇති නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කර ඇතැයි පවසා තිබේ.

විශේෂයෙන්ම වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ බොරතෙල් පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිතුමා කුවේට් අගමැතිවරයාගේ අවධානය යොමු කර ඇත. එසේම ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳවද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක් වූ බව පැවසෙයි..

මේ අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිතුමා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද එක්ව සිට ඇත.

Visits: 59