ගෝලීය වසංගතයට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යළි නගාසිටුවීම

මෑත ඉතිහාසය තුළ ලෝක රක්ෂණ සේවා ක්ෂේත්‍රයට අභියෝග රැසක් එල්ල විය. COVID-19 වසංගත අභියෝගය සමග කාලානුරූපීව වෙනස් වූ සාමාජීය අවශ්‍යතා සහ වෙළෙඳපොළ නිර්මාණය වූ නව ප්‍රවණතා අනුව රක්ෂණ ක්ෂේත්‍රයේ සේවාවන් නවීකරණය කොට යළි නගාසිටුවීම සිදුව තිබේ.

ගෝලීය ප්‍රවණතාව අනුව ලොව පුරා විසිර සිටින රක්ෂණ සමාගම් වලට ඒ ඒ රටවල ජනතාවට සරිලන ආකාරයෙන් සකස් කළ යහපත් ජීවන රටාවක් සහ සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කරගැනීමෙහිලා මගපෙන්වන රක්ෂණ සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව උදාවී ඇත.

රක්ෂණයේ වැදගත්කම හා වටිනාකම ලොව පුරා ජනතාව වෙත වඩාත් හොඳින් වටහා දෙන්නට COVID-19 ගෝලීය වසංගත තත්ත්වය සමත්ව සිටියි.

වත්මන් රක්ෂණ ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන වෙනස්කම් හා අභියෝග පිළිබඳ රක්ෂණ වෘත්තිකයන් ඉතා හොඳින් වටහාගත යුතුය. රක්ෂණ සේවා සැපයීමේදී වසංගත තත්ත්වය සමග උද්ගත වූ ගනුදෙනුකාරභවතුන්ගේ ආර්ථික අපහසුකම් පිළිබඳ පළමුව සලකා බැලීම වැදගත් ය.

පාරිභෝගිකයන්ගේ අනෙකුත් අවශ්‍යතා, විරැකියා තත්ත්වය ඉහළ යාම, ව්‍යාපාර කඩාවැටීම් සහ ආදායම් බිඳවැටීම්, සංචරණ සීමා මෙන්ම සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම් ආදී හේතු නිසා නව රක්ෂණාවරණ මිලදී ගැනීමට අඩු උනන්දුවක් දැක්වීම මෙන්ම රක්ෂණ වාරික ගෙවීමේ ක්‍රියාවලිය බිඳවැටීමට ද හේතු විය හැකිය.

කෙසේ වුවද රක්ෂණයේ සැබෑ වටිනාකම වටහාගත් ගනුදෙනුකාරභවතුන්ට සිය රක්ෂණාවරණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වැඩි දියුණු කළ අන්තර්ජාලගත ඩිජිටල් රක්ෂණ සේවා ලබාදීම කෙරෙහි සියළුම රක්ෂණ සමාගම් සිය පූර්ණ අවධානය යොමුකොට ඇත.

COVID-19 වසංගත තත්ත්වය නිසා සාමාන්‍ය රක්ෂණ හානි පූර්ණ ගෙවීමේ ක්‍රියාවලියේදී වරින් වර රක්ෂණාවරණ කොන්දේසි හා ආවරණ වෙනස්කම් වලට මුහුණ පෑමට ලොවපුරා රක්ෂණ සමාගම්වලට සිදුවිය.

ලොව පුරා රෝහල් හා වෛද්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති අතර ව්‍යාපෘති අවලංගුකිරීම්, ව්‍යාපාර බිඳවැටීම්, සංචාරක රක්ෂණය, මූල්‍ය රක්ෂණය, සේවක වන්දි ගෙවීමේ කටයුතු යනාදී හේතු රැසක් සඳහා හානි අනුපූරණය කිරීමේ අවශ්‍යතාව පෙරටත් වඩා වැඩිවීම සිදුව ඇත. සංචරණ සීමා පැනවීමේ නීති රීති රෙගුලාසි නිසා රථවාහන භාවිතය අවම ප්‍රමාණයක පැවතීම හේතුවෙන් රථවාහන රක්ෂණාවරණ හානිපූරණ කටයුතුවල සැලකිය යුතු අඩුවීමක් වාර්තා වේ.

COVID-19 වසංගත තත්ත්වය සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ ද වෙනස්කම් රැසක් සිදුව ඇත. පෙර වසර කිහිපය හා සැසඳීමේදී රථවාහන රක්ෂණය” මුහුදු රක්ෂණය” සංචාරක රක්ෂණය යනාදී සාමාන්‍ය රක්ෂණ සේවාවන් රැසක පසුබෑමක් මේ වනවිට දැකගත හැකිය.

2019 වසරේ 7.06%  ක් ව තිබූ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයේ වාරික ගෙවීමේ වර්ධන අගය 2020 වසරේදී 2.24% කින් පහත වැටී තිබේ. දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරයේ වාරික ආදායම 15.98% (2019 වසරේ 10.58%&, දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය රක්ෂණ ඉතිහාසයේ පළමු වරට ආදායම් බිලියන 100 ක සීමාව පසුකරයාමකි.

2021 පළමු කාර්තුවේ ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ බදු අයකර ගැනීමට පෙර ලාභය රුපියල් මිලියන 4,038 ක් වාර්තා කරන්නට සමත් විය. සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයේදී බදු අයකර ගැනීමට පෙර ලාභය රුපියල් මිලියන 3110 ක් වන අතර එය 2020 පළමු කාර්තුවේ බදු අයකර ගැනීමට පෙර ආදායම හා සැසඳීමේදී 18.78% කින් අඩුවී ඇත.

වසංගත තත්ත්වයේ බලපෑම හමුවේ 2020 වසරේදී රුපියල් බිලියන 100 ක සීමාව පසුකර යාමේදී සමස්ථ ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ දළ ලිඛිත වාරික (GWP) 18.98% ක වර්ධන අගයක් වාර්තා කර ඇත. 2020 වසරේ පළමු කාර්තුව තුලදී ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ දළ ලිඛිත වාරික (GWP) 34.18% ක වර්ධන වේගයක් පෙන්නුම් කරන අතරම සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයේ දළ ආදායම 0. 77% කින් අඩුවීමක් පෙන්නුම් කරයි.

ගෝලීය වසංගත තත්ත්වයට අනුවර්තනය වෙමින් රක්ෂණ ක්ෂේත්‍රය අන්තර්ජාලය හා මුසු ඩිජිටල් සේවා සංස්කෘතියක් හරහා ගනුදෙනුකාරභවතුන්ට අඛණ්ඩව සේවා සම්පාදනය කරමින් සිටියි. ගෝලීය වසංගත තත්ත්වයක් මැද පවුලේ හා ව්‍යාපාරයන්ගේ ආරක්ෂාව කෙරෙහි රක්ෂණාවරණයක ඇති වැදගත්කම හා කාලීන වටිනාකම අවධාරණය කරමින් ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීමෙහිලා සියළු දේශීය රක්ෂණ සමාගම් යුහුසුළුව කටයුතු කරමින් සිටිති.

Visits: 109