“කාබනික තේ සඳහා ලොව ඇත්තේ 1%කටත් වඩා අඩු කුඩා වෙළෙඳපොලකි” – කලාපීය වැවිලි සමාගම් පවසයි

කාබනික තේ සඳහා ගෝලීය වශයෙන් ඇත්තේ 1%කටත් වඩා අඩු ඉතා කුඩා වෙළෙඳපොලක් බව කලාපීය වැවිලි සමාගම් සංගමය (RPC) පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය විවිධ පැතිකඩ ඔස්සේ දැඩි අභියෝගවලට ලක් වී ඇති වකවානුවක මෙම කුඩා වෙළෙඳපොල වෙත මාරු වීම කිසිසේත් සුභදායක නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම 2020 මුළු අපනයන ආදායම අනුව ඇ.ඩො.බි. 1.2 ඉක්මවන කර්මාන්තයක් කුඩා වෙළෙඳපොලකින් පවත්වා ගත නොහැකි වීම ඊට හේතුව බවත් ඔවුන් පෙන්වා දෙයි.

කලාපීය වැවිලි සමාගම් සංගමය ශ්‍රී ලංකා තේ වගා ක්ෂේත‍්‍රයේ කෘෂිකාර්මික ක‍්‍රමවේදයන් පිළිබඳ වැරදි වැටහීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පසුගියදා නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

“RPC සමස්තයක් ලෙස සේවකයින් 105,000කට රැකියා ලබා දෙන අතර දළ වශයෙන් වතුකරයේ ජනතාවගෙන් මිලියනකට පමණ විවිධ පහසුකම් සපයනු ලබයි. වතුකරයේ වෙසෙන ජනතාවගෙන් 5%කට පමණ සෙත සලසන RPC මෙවැනි කුඩා වෙළෙඳපොලක් වෙත යොමු වීමෙන් එම ජනතාවගේ ජීවිත ඔට්ටුවට තැබීම RPC වලට කළ නොහැකි දෙයකි.” ඔවුන් පවසයි.

මීට අමතරව ප‍්‍රායෝගිකව මුළුමනින්ම කාබනික වගාව වෙත යොමු වීම අභියෝගාත්මකය. කාබනික තේ කිලෝග‍්‍රෑමයක ඇස්මේන්තුගත නිෂ්පාදන පිරිවැය රුපියල් 1900/-ක් වන අතර එය සාම්ප‍්‍රදායිකව නිපදවන තේ කිලෝග‍්‍රෑමයක නිෂ්පාදන පිරිවැය මෙන් තුන් ගුණයක් පමණ වේ.

“100%ක් කාබනික වගා වෙත යොමු වුවහොත් විශාල වශයෙන් රෝග ඇති වීමේ සම්භාවිතාවක් පවතී. 1869 දී කෝපි වගාවට බලපෑ කෝපි කොළ මළකඩ වීමේ දිලීර රෝගය හේතුවෙන් කෝපි වගාවෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මුළුමනින්ම වැනසී ගිය බව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අසා ඇත.

එකල දිලීර රෝගයට කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් ප‍්‍රතිකාර කිරීමේ හැකියාවක් නොතිබුණ අතර එනිසා මුළු කර්මාන්තයම විනාශ විය. දැන් කෘෂිකර්මාන්තයේ හා තාක්ෂණයේ දියුණුව නිසා එවැනි අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි නමුත් කෘෂි රසායනික ද්‍රව්‍ය කිසිඳු ආකාරයකින් භාවිතා නොකොට ඒවාට පිළියම් කිරීම අතිශයින් දුෂ්කරය.” සංගමය පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස තේ වතුවල අධික තෙතමනයක් පවතින අවස්ථාවලදී දිලීර නාශක යෙදීම අවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත් එම දිලීර රෝග හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළදී අස්වැන්නෙන් 20% සිට 30% දක්වා ප‍්‍රමාණයක් අහිමි විය හැකි බවත් කලාපීය වැවිලි සමාගම් සංගමය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කෘෂිකාර්මික අංශයට අත්‍යවශ්‍ය පොහොර ලබා ගත හැකි බවට සහතික කිරීම සඳහා රජය මෑතකදී ගත් පියවර කලාපීය වැවිලි සමාගම් ඇතුළුව තේ රබර් සහ අනෙකුත් වැවිලි බෝග වගා කරන ක්ෂේත‍්‍රයේ සියලූම පාර්ශවකරුවන්ගේ පැසසුමට ලක් වී තිබේ.

විශේෂයෙන්ම තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මෙය ඉතා කාලෝචිත උපකාරයක් බව පවසන එම සමාගම් රජයේ මෙම ක‍්‍රියාවලිය සියලූම කලාපීය වැවිලි සමාගම් විසින් ඇගයීමට හා ප‍්‍රශංසාවට ලක් කර සිටියි.

Visits: 321