රක්ෂණයක් සඳහා උනන්දුවන පිරිසට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමෙන් දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සංවර්ධනය, සුපරීක්ෂණය සහ නියාමනය සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ ලියාපදිංචි ආයතන සහ පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි.

දැනට රක්ෂණ හිමිකමක් සහිත සහ ඉදිරියේදී රක්ෂණ හිමිකමක් ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වන පිරිස් වෙත දැනුවත් කිරීමක් ලෙස මෙම ප්‍රසිද්ධියට පත් කිරිම සිදු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙහිදී අද වන විට රට තුළ ලියාපදිංචි රක්ෂණ සමාගම්, බලපත්‍රලාභී රක්ෂණ තැරැව්කාර සමාගම්, 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය සඳහා සාමාන්‍ය රක්ෂණ තැරැව්කාර ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලියාපදිංචි වී ඇති සමාගම්, බලපත්‍රලාභී අලාභ ගැලපුම්කරුවන් යනාදී තොරතුරු මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව රක්ෂණ හිමිකමක් ලබා ගැනීමට යාමේදී මෙම ලියාපදිංචි සහ බලපත්‍රලාභී සමාගම් සහ පුද්ගලයන් වෙතින් එම සේවාව ලබා ගන්නා ලෙසද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම කොමිෂමට අනුව අද වනවිට මෙරට ක්‍රියාත්මක ජීවිත රක්ෂණ සමාගම් සංඛ්‍යාව 13කි. එසේම සාමාන්‍ය රක්ෂණ සමාගම් සංඛ්‍යාව 12කි.

සංයුක්ත රක්ෂණ සමාගම් දෙකක් පවතින අතර ඉන් MBSL Insuarance Company Ltd සමාගමට 2020/6/1 වැනිදා සිට අලුතින් ජීවිත රක්ෂණ සැලසුම් නිකුත් කිරීම නවත්වා තිබේ.

මේ අතර 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා දිගුකාලීන සහ සාමාන්‍ය රක්ෂණ තැරැව්කාර ව්‍යාපාරය සඳහා ලියාපදිංචි වී ඇති බලපත්‍රලාභී රක්ෂණ තැරැව්කාර සමාගම් සංඛ්‍යාව 48 කි.

එසේම එම කාලසීමාව දක්වා සාමාන්‍ය රක්ෂණ තැරැව්කාර ව්‍යාපාරය පවත්වාගෙන යාමට ලියාපදිංචි වී සිටින සමාගම් සංඛ්‍යාව 20කි.

මීට අමතරව අද වනවිට මෙරට තුළ ලියාපදිංචි වී සිටින අලාභ ගැලපුම්කරුවන්ගේ සංඛ්‍යාව 29කි.

මේ අතර රක්ෂණ තැරැව්කාර සමාගමක් ලෙස ලියාපදිංචි වී සිටින Eagle Insuarance Brokers (Pvt) Ltd සමාගම සතු දිගුකාලීන සහ සාමාන්‍ය රක්ෂණ තැරැව්කාර ව්‍යාපාර බලපත්‍රය 2022 මාර්තු 08 වැනිදා කල් ඉකුත්වන බවත් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Visits: 321