සණස සංවර්ධන බැංකුවට ඩොලර් මිලියන 40ක ඇමෙරිකානු මූල්‍යකරණ සහාය හිමිවෙයි

මෙරට බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන සණස සංවර්ධන බැංකුව (SDB BANK) වෙත ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක මූල්‍යකරණ සහායක් භාරදුන් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

පසුගියදා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් එම තානාපතිනිය විසින් සණස සංවර්ධන බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා වෙත මෙම අරමුදල් සංකේතාත්මකව ප්‍රදානය කිරීමක් සිදු කර ඇත.

මෙය ඇමෙරිකානු ජනතාවගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් මිලියන 40ක මූල්‍යකරණ සහායක් වන බවත්, එය සණස සංවර්ධන බැංකුවෙහි කාන්තා ව්‍යවසායකයන් ඇතුළු කුඩා ව්‍යාපාර අංශයට අතදීමට යොදා ගනු ඇති බවත් තානාපතිනිය මෙහිදී සඳහන් කර ඇත.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා තවදුරටත් කැපවී සිටින බවද ඇය මෙහිදී සඳහන් කර තිබේ.

සණස සංවර්ධන බැංකුව පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමායතනය (U.S. International Development Finance Corporation – USIDFC) හරහා මෙම එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක මූල්‍යකරණ සහායක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

එක්සත් ජනපද රජයේ සංවර්ධන බැංකුවෙහි (US Government Development Bank) හස්තයක් ලෙස මෙම USIDFC ආයතනය ක්‍රියාත්මක වෙයි.  

මෙම අරමුදල ලබා ගැනීමෙන් අනතුරුව සණස සංවර්ධන බැංකුව සහ USIDFC එක්ව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ කාන්තා ව්‍යවසායන් වෙත සහාය දැක්වීම අරමුණ බව පවසා තිබුණි.  ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය පෞද්ගලික අංශයේ ආයෝජනයන් වෙත සහාය දැක්වීම සිදු කරන බවත් සණස සංවර්ධන බැංකුව පවසයි.

USIDFC ආයතනය අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, ඉන්දු-පැසිපික්, ලතින් ඇමෙරිකාව සහ මැදපෙරදිග කලාපයේ නැගී එන වෙළෙඳ පොළ තුළ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන ඩොලර් බිලියන 2.1ක අරමුදල යටතේ අමතරව තවත් ව්‍යාපෘති 16ක් සඳහා ලබා දෙන ඩොලර් මිලියන 587ක ණය මුදල  හරහා මෙම මුදල ප්‍රදානය කෙරෙන බව සඳහන් කෙරී තිබුණි.

Visits: 342