THE AUTODROME PLC ලාභාංශ නිවේදනයත් සමග කොටසක වටිනාකම 6.75%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත THE AUTODROME PLC සමාගම (AUTO.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 60 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද එම සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස සැප්තැම්බර් 29 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් THE AUTODROME PLC සමාගම පවසයි.

මෙම නිවේදනයත් සමගින්ම අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී THE AUTODROME PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 80.60ක්  ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී සමාගමේ කොටසක වටිනාකම වූ රුපියල් 75.50ට සාපේක්ෂව රුපියල් 5.10ක් එනම් 6.75%ක ඉහළ යාමකි.

THE AUTODROME PLC සමාගම මේ වසරේ ජනවාරි මාසයේදීද සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමක් සිදු කර ඇති අතර,  එය 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2019/20 මූල්‍ය වර්ෂය වෙනුවෙන් එම ගෙවීම සිදු කර තිබේ. එහිදී කොටසකට ශත 30 බැගින් ලාභාංශ ගෙවා ඇත.

2020 මාර්තු 31 දා වනවිට THE AUTODROME PLC සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 3,594,800ක් එනම් 29.96%ක් ප්‍රතිශතයක් හිමිව ඇත්තේ බර්නාඩෙට් ඇලෝසියස් මහත්මිය වෙතයි. එසේම එහි දෙවැනි කොටස් හිමිකරුවා වන්නේ සංජීව ඒ ගාඩ්නියර් මහතාය. එය කොටස් 1,179,500ක් වන අතර 9.83%ක ප්‍රතිශතයකි.

මෙරට වෙත Bridgestone ටයර් ආනයනය කර බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිතයා වන්නේ THE AUTODROME PLC සමාගමයි.

Visits: 278