BIL සහ CHIC එක්ව සැලසුම් කළ කොළඹ වරාය නගරයේ පළමු ඉදිකිරීම ඇරඹීම කල් යයි

කොළඹ වරාය නගරයේ පළමු ඉදිකිරීම ලෙස සිදු කිරීමට සැලසුම් කර තිබූ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (CIFC) ඉදිකිරීම් ඇරඹීම කල් දැමීමට කොළඹ වරාය නගර පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අද (සැප්තැම්බර් 17) වැනිදාට යෙදෙන කොළඹ වරාය නගරය ආරම්භ කිරීමේ 7 වැනි සංවත්සරයට සමගාමීව මෙම ඉදිකිරීම සඳහා වන පළමු පස් පිඩැල්ල කැපීම සැලසුම වී තිබුණි. එහෙත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම කටයුතු කල් දැමීමට පෝර්ට් සිටි පාලනාධිකාරිය තීරණය කර තිබෙන බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ‘ද මෝර්නිං‘ පුවත්පත පවසයි.

ඒ අනුව මෙම ඉදිකිරීම් ආරම්භය ලබන දෙසැම්බර් මාසයට පෙරාතුව සිදු කිරීම සිය සැලසුම බව පුවත්පත වෙත අදහස් දක්වා ඇති කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි මහජන සබඳතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා තමන් වෙත පැවසූ බව පුවත්පත මෙහිදී සඳහන් කර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මෙහෙයුම් භාර චයිනා හාබර් ඉන්ජිනියරිං කම්පැනි ලිමිටඩ් (CHIC) සමාගම සහ LOLC සමූහයේ ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් අතර මෙම වසර මුලදී ඇති කරගත් එකඟතාවකට අනුව වරාය නගරයේ පළමු ඉදිකිරීම ලෙස මෙම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (CIFC) පළමු ඉදිකිරීම සඳහා පිවිසුණි.

මෙම ව්‍යාපෘතිය යටතේ නේවාසික පහසුකම් සහිත පරිශ්‍ර දෙකක්, සමාගම් සඳහා වන පරිශ්‍රයක් සහ සේවා නිවාස සංකීර්ණයක් යනාදී ලෙස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීම සැලසුම වී තිබේ.

පුවත්පත සඳහන් කරන ආකාරයට මෙම ඉදිකිරීමට අමතරව වරාය නගරය තුළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම්ද ලබන 2022 වසරේ පළමු කාර්තුවේදී පමණ සිදු කරන බවත් පැවසෙයි. කොළඹ වරාය නගරය තුළ තීරු බදු කලාපයක් පිහිටුවීම යටතේ මෙම අවස්ථාව සංවිධානය කෙරෙන බව කස්සප සෙනරත් මහතා පුවත්පත වෙත සඳහන් කර ඇත.

“මීට අමතරව හෝටල් සංවර්ධන ව්‍යාපෘති, සුඛෝපභෝගී යාත්‍රා අංගනය සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම් යනාදියත් කොළඹ වරාය නගරයේ සැලසුම් කර ඇති අනෙකුත් ව්‍යාපෘති වෙනවා.” ඒ මහතා පවසා තිබේ.

මේ අතර කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඇති ඉඩම් කොටස් 74ක් සඳහා සිය ආයෝජන සිදු කිරීම සඳහා බොහෝ දේශීය ආයෝජකයන් උනන්දුව දක්වා ඇතැයිද සඳහන් වෙයි. කෙසේ වෙතත් කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසම් පනතට අනුව මෙම සිදු කිරීම ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම විදේශීය ආයෝජන ලෙස සිදු කළ යුතුව ඇත. ඒ හරහා රට වෙතට විදේශ විනිමය රැගෙන ඒම සැලසුම වී තිබේ. ඒ හරහා රටෙහි විදේශ විනිමය සංචිතය ශක්තිමක් කිරීමත් රජයේ අදහස වී ඇත.

Visits: 762