ඊබ්‍රහිම් පවුලට අයත් තඹ කම්හල ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට පවරා ගැනීමට අවධානය

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ එල්ල වුණු බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ ‘ඊබ්‍රහිම් පවුලට’ අයත් දැනට රාජසන්තක කර ඇති තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ සන්ධ්‍යාවේදී වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ්‍රය නිරීක්ෂණයට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ. ඒ අනුව මෙම කර්මාන්තශාලාව මඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

“පසුගිය මැයි මාසයේ 20 වැනිදා රජය විසින් රාජසන්තක කළ මෙම ස්ථානය අපි කවුරුත් දන්නවා මීට පෙර ඒ පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට සම්බන්ධ වූ ඊබ්‍රහිම් පවුලට අයත් දේපළක්. එය දැනට රහස් පොලිසිය භාරයේ පවතින්නේ. අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙම තඹ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට. මෙහි සියලු යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමටයි. මෙම යන්ත්‍ර සූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතුයි.” ඒ මහතා පවසා තිබේ.

එමගින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට හැකි වෙනු ඇති බවත්, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට මෙම ස්ථානය නිරීක්ෂණයට මෙලෙස පැමිණි බවත් ඔහු පවසා ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරුද එක්ව සිට ඇත.

Visits: 108