RIL Property PLC සමාගම Panasian Power PLC හි සිය කොටස් හිමිකම 74% දක්වා ඉහළ නංවා ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත RIL Property PLC සමාගම විසින් පසුගිය ජූලි මාසයේ 09 වැනිදා මිලදී ගත් Panasian Power PLC හි එම සමාගම සතු කොටස් හිමිකම සැප්තැම්බර් 10 වැනිදා වන විට 74%ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇතැයි පවසයි.

RIL Property PLC විසින් එම සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ කොටස් තවදුරටත් මිලදී ගැනීමත් සමගින්ම මෙලෙස එම සමාගම සිය හිමිකාරීත්වය වර්ධනය කර ගෙන තිබේ.

පසුගිය අගෝස්තු 19 වැනිදා මෙම මිලදී ගැනීම ආරම්භ කෙරී තිබූ අතර පසුව එම මිලදී ගැනීම තවදුරටත් දිගු කිරීමට කටයුතු යෙදුණි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 10 වැනිදා මෙම මිලදී ගැනීමේ අවස්ථාව කල්පිරුණු බවත් RIL Property PLC සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත පවසා තිබේ.

පසුගිය ජූලි මාසයේ 09 දා RIL Property PLC සමාගම මගින්  Panasian Power PLC සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 385,469,645ක එනම් 61.675%ක ප්‍රතිශතයක් මිලදී ගැනීම සිදු විය.

ඒ අනුව සැප්තැම්බර් 10 වැනිදා වන විට RIL Property PLC සමාගම මගින් Panasian Power PLC හි තවත් 12.385%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගත් බව පවසයි.

මේ සමගින්ම අද වනවිට තමන් සතුව Panasian Power PLC සමාගමෙහි කොටස් 462,875,231ක හිමිකාරීත්වයක් එනම් ආසන්න වශයෙන් 74.060%ක හිමිකාරීත්වයක් පවතින බවත් RIL Property PLC සමාගම වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

ජූලි 09 වැනිදා සිදු වූ 61.675%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.7ක් විය. එහිදී වැඩිම කොටස් ප්‍රමාණයක් අලෙවි කළ ආයෝජකයන් වූයේ සමාගමෙහි 27%ක හිමිකාරීත්වයක් පැවැති දිලංක ජිනදාස මහතා, 20%ක හිමිකාරීත්වයක් පැවැති එමරල්ඩ් ශ්‍රී ලංකා අරමුදල සහ 14.4%ක හිමිකාරිත්වයක් පැවැති සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් යන ආයෝජකයන්ය.

Visits: 415