HNB Finance රුපියල් බිලියන 2ක ණයකර නිකුතුවකට සූදානම් වෙයි

බැංකු නොවන මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරිමට සූදානමින් සිටින බව පවසයි. අද පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, අප්‍රධාන, පිරිමුදවාගතහැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදු කරන බව HNB Finance PLC පවසයි.

මෙහිදී සමාගම මගින් ණයකර කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව එක් ණයකර කොටසක් රුපියල් 100ක මුදලකට මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2ක් (2,000,000,000ක්) ලෙස සටහන්ව ඇත.

ඒ අනුව මෙම යෝජිත ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවද ඇතුළුව නියාමකයන්ගේ අනුමැතිය හිමිවීමට නියමිතව තිබෙන බවත් HNB Finance PLC වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව මෙම ණයකර මිලදී ගැනීම සඳහා විවෘත කෙරෙන දිනය සහ එහි පොළී අනුපාත සම්බන්ධයෙන් විස්තර ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.  

බැංකු නොවන මූල්‍ය ආයතන විසින් පවත්වාගත යුතු බවට මහ බැංකුව මගින් දැනුම් දී ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සැපිරිම වෙනුවෙන් HNB Finance මෙලෙස ණයකර නිකුතුවක් හරහා අරමුදල් රැස් කරගැනීමට කටයුතු යොදා තිබෙන බව වෙළෙඳ පොළ විශ්වාසය වී තිබේ.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී HNB Finance PLC කොටසක වටිනාකම රුපියල් 9.00ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී එහි කොටසක අගය වූ රුපියල් 9.20ට සාපේක්ෂව ශත 20ක එනම් 2.17%ක අඩුවීමකි.

Visits: 250