මෙක්සිකෝවේ පැල්පත් මැද ඉදිවූ Amazon ගබඩාව

මෙක්සිකෝවේ ටිජුවානා ප්‍රදේශයේ ඉදිකර ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමසෝන් සමාගමට අයත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්විමත් සමගින්ම ඒ පිළිබඳ වන කතාබහ ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන්ම මෙක්සිකෝවේ අන්ත දුප්පත් පැල්පත්වාසී ජනතාවක් වෙසෙන භූමියක් ආසන්නයේ මෙම දැවැන්ත මධ්‍යස්ථානය ඉදිකර තිබීම ඊට හේතු විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් සිදු කරමින් බී.බී.සී. පුවත් සේවය පසුගියදා සිය පුවත් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

මෙක්සිකානු ජාතික ඡායාරූප ශිල්පී ඔමාර් මාර්ටිනේස් විසින් ලබා ගත් මෙම ඡායාරූපය ඇතැමෙකුට ධනවාදයේ අසමතුලිතභාවය හුවා දැක්වෙන හොඳම ඡායාරූපය බවටත් පත්ව ඇතැයි බී.බී.සී. පුවත් සේවය එහිදී සඳහන් කරයි.

41 හැවිරිදි ඔමාර් ජීවත් වන්නේ ද ටිජුවානා ප්‍රදේශයේම ය. මෙය එක්සත් ජනපදය හා මෙක්සිකෝව වෙන්කෙරෙන දේශසීමාවට නුදුරු ප්‍රදේශයකි.

“මම මේ ඡායාරුපය ගත්තේ මේ නගරයේ පවතින අසමානතාව පෙන්නුම් කිරීමේ අරමුණ ඇතිව. මගේ ඡායාරූපය නිසා සමාජයේ උණුසුම් සංවාදයක් ඇතිවී තිබීම ගැන මම සතුටු වෙනවා.” ඕමාර් බීබීසීයට පවසා තිබේ.

විශේෂයෙන්ම ලෝකයේ ධනවත්ම සහ ගෝලීය වශයෙන් වඩාත්ම ව්‍යාප්ත වූ ව්‍යාපාරයක්, එදා වේල යන්තමින් පිරිමසා ගන්නා මිනිසාගේ අල්ලපු වත්තේ ඉදිවීම දෛවෝපගත සිද්ධියක් ලෙස ද ඇතැමෙකුට සිතෙන්නට පුළුවන් බව බී.බී.සී පුවත් සේවයේ අදහසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 21ක් වැයකොට ඉදිකළ මේ බෙදාහැරීමේ සංකීර්ණය පිළිබඳව ට්විටර් සමාජ ජාලයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වී තිබුණි. ධනවාදය කෙතරම් කුරිරුදැයි මෙයින් මොනවට පැහැදිලි වන බව ඇතැමුන් ලියා තිබුණි.මෙම ප්‍රදේශය එතරම් ආරක්‍ෂිත නොවූ හෙයින් මෙම ස්ථානය ඡායරූපගත කිරීම දුෂ්කර කාර්යයක් වූ බව ඔමාර් ප්‍රකාශ කරයි. එබැවින් දුරක සිට ඩ්‍රෝනයක් ආධාරයෙන් කැමරාව ඉහළට යැවීමට ඔමාර් තීරණය කර ඇත.

“මීට යාබදව තියෙන්නේ වැසිකිලි අපද්‍රව්‍ය බැහැර කෙරෙන ඇල මාර්ගයක්. ඒ අවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැවසෙනවා. ඒ නිසා ඒ තරම් ආරක්ෂා සහිත නැහැ.”

ගෝලීය ධනවාදය

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ, ගෝලීයකරණය පිළිබඳ අධ්‍යයන පීඨයේ සහකාර මහාචාර්යවරිය වන චාමෙන් චුවා මේ පිළිබඳව ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ. “ටිජුවානා හි ඉදිවුණු නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය පවතින්නේ දේශීය වෙළෙඳපොළ වෙනුවෙන් නොවේ. අතිශයින් ශ්‍රම සූරාකෑමට ගොදුරුවන මෙක්සිකෝවේ කම්කරුවන් එහි සේවයේ යොදවා දේශ සීමාවෙන් එපිටට භාණ්ඩ යැවෙනු ඇත.” යනුවෙනි.

ලොස් ඇන්ජලීස් හි ලෝන්ග් බීච් ප්‍රදේශයේ වරාය සංකීර්ණය මෙම ප්‍රදේශයට ආසන්නයේ පවතින බවත් මෙම දැවැන්ත සමාගමේ වෙළෙඳාමෙන් 40%ක් පමණ සිදුකෙරෙන්නේ ඒ හරහා බවත් මහාචාර්යවරිය පවසන්නීය.

චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ යුද්ධය උණුසුම් වූ දා පටන් ක්‍රියාත්මක වූ තීරුබදු හේතුවෙන් දෙරට අතර සෘජු භාණ්ඩ හුවමාරුව ඉතා මිල අධික තත්වයකට පැමිණියේය. ඒ අනුව “විසඳුම මෙක්සිකෝව ද?” මහාචාර්යවරිය මෙහිදී ප්‍රශ්න කර තිබේ.

“එක්සත් ජනපදයට වඩා මෙක්සිකෝවේ කම්කරු ශ්‍රමය ඉතා ලාබයි.” කැලිෆෝනියා-Irvine සරසවියේ, ආචාර්ය උපාධිය හදාරන ස්පෙන්සර් පොටිකර් බී.බී.සී පුවත් සේවය වෙත පවසා තිබේ. සිය ආචාර්ය උපාධිය සඳහා ඔහුගේ පර්යේෂණයට පාදක වී ඇත්තේ එක්සත් ජනපදය සහ මෙක්සිකෝව වෙන්කෙරෙන දේශසීමාවට අදාළව පවතින වෙළෙඳ ගනුදෙනු පිළිබඳවය.

ඔහු බීබීසීයට කියා සිටියේ එක්සත් ජනපදයේ කම්කරුවෙකුට පැයකට ඩොලර් 15ක වැටුපක් ගෙවද්දී මෙක්සිකෝවේ කම්කරුවෙකුගේ පැයක වැටුප ඩොලර් 2ත් 4ත් අතර ප්‍රමාණයකට සීමාවී ඇති බවය.

ඇමසෝන් ආයතනය ටිජුවානා හි ඉදිකළ බෙදාහැරීමේ මධ්‍යස්ථානය “ගෝලීය අසමානතාව” නියෝජනය කරන බවත් දේශ සීමාව දෙපස ම බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉදිවීමේ ප්‍රවනතාවක් ඇතිවී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි නගරයටය නුදුරින් පිහිටි, ඇමසෝන් සමාගමට අයත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක කම්කරුවන්ට නීතියෙන් අවසරය ලැබී ඇති පැය ගණන ඉක්මවා වැඩ කිරීම සඳහා බලහත්කාරයෙන් යොදවා ඇති බවත් කොවිඩ් 19 වැළඳුනු කම්කරුවන් සේවයෙන් පහ කිරීමට හෝ ඉල්ලා අස්වීමට බලකෙරෙන බවත් රොයිටර් විශේෂ වාර්තාවකින් හෙළිකර තිබුණි.

මෙම තත්ත්වය එක්සත් ජනපදය තුළ පවා මතභේදයට තුඩු දී තිබේ. භාණ්ඩ බෙදාහැරීමේ ලබා දී ඇති කාලසීමාව ඉතා කෙටිවීම හේතුවෙන් ඇතැම් රියදුරන්ට මුත්‍රා කිරීමට සිදුවී ඇත්තේ වාහනය තුළ තබාගෙන සිටින ප්ලාස්ටික් බෝතල්වලට බව මෑතකදී වාර්තා විය.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවේචන ප්‍රතික්ෂේප කරමින් ටිජුවානා හි නගරාධිපතිවරයා පවසා ඇත්තේ මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය තම පලාතට සංවර්ධනය කැඳවාගෙන එන බවයි. මෙම ආයෝජනය හේතුවෙන් නව රැකියා අවස්ථා බිහිවන බවත් “ආර්ථිකය ප්‍රතිසක්‍රිය වී පළාතේ පවුල්වලට ශුභ සාධනය” ගෙන එන බවත් නගරාධිපති කාර්ලා රුයිස් මැක්ෆාර්ලන්ඩ් බී.බී.සී. පුවත් සේවය වෙත පවසා ඇත.

එසේම ඇමසෝන් සමාගමද බීබීසීයට කියා ඇත්තේ තම ව්‍යාපාර මෙහෙයවන රටවල සහ ප්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් තම සමාගම කැපවී සිටින බවය. උදාහරණ ලෙස මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය මෙක්සිකෝවේ ඉදිකළ 11වැනි මධ්‍යස්ථානය බව ද ඇමසෝන් සමාගම තවදුරටත් පවසා තිබේ.

“මෙක්සිකෝවට පැමිණීමෙන් පසුව අප රැකියා අවස්ථා 15,000කට වඩා රට තුළ බිහිකර තියෙනවා. දැන් ටිජුවානා මධ්‍යස්ථානයේ රැකියා අවස්ථා 250ක් ඇතිවෙනවා. තරඟකාරී වැටුපක් සහ ප්‍රතිලාභ සියලුම සේවකයන්ට ලබාදෙනවා.” ඇමසෝන් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 218