දෙවැනි කාර්තුවේ 12.3% ක ආර්ථික වර්ධන‍ය ආයෝජකයන් සෑහීමකට පත් නොකරයි

අද දිනයේදී (සැප්තැම්බර් 16) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ධනාත්මක ආකාරයෙන් ආරම්භ වුවද පසුව ආයෝජක විශ්වාසයේ ඇති වූ පසුබැසීම හේතුවෙන් එම තත්ත්වය යම් තරමකට අඩු විය. විශේෂයෙන්ම ඊයේ දිනයේදී නිකුත් වුණු මේ වසරේ දෙවැනි කාර්තුව සඳහා වූ ආකර්ෂණීය ආර්ථික වර්ධන වේගයේ අගයන් ආයෝජකයන් සෑහීමකට පත් කිරීමට අපොහොසත්වීමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම දැනට ක්‍රියාත්මක තෙවැනි කාර්තුව සම්බන්ධයෙන් පවතින කනස්සල්ල ඊට හේතුව වූ බවද ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,830.55ත් ඒකක 9,000.63ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,848.04ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 15) දිනයට සාපේක්ෂව ඒකක 83.17ක් එනම් -0.93%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සම්පත් බැංකුව තුළ සිදු වුණු ගනුදෙනුව පිරිවැටුමෙන් 4.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 65ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 124ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+5.55), ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී TKYO (+1.68), ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී TOKY.X (+1.2), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+0.9), සම්පත් බැංකුව SAMP (+0.8), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-21.94), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-11.46), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-10.02), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.67), වැලිබල් වන් පීඑල්සී VONE (-4.86යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,309.99ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 15) ‍ට සාපේක්ෂව ඒකක 22.27ක එනම් -0.67%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 15) වාර්තා කළ රුපියල් බිලියන 5.49ට සාපේක්ෂව 28% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.94ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 33.17%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 23.55ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 17.22ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 6.33කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 42.63ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.39කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 9.2ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,320ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 33%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,152ක සහ රුපියල් මිලියන 368ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 376