අබාන්ස් ෆිනෑන්ස් වෙතින් රු.බිලියන 1.5ක් වටිනා ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 1.5ක (1,500,000,000ක) වටිනාකමින් යුත් ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඊයේ දිනයේදී රැස්වුණු අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් මිලියන 15ක් (15,000,000ක්) නිකුත් කෙරෙන බව සමාගම පවසයි.

මෙම නිකුතුවෙහි එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, ඒ අනුව සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී අදාළ ණයකර නිකුතුව සම්බන්ධයෙන් සහ එම ණයකර කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් වන නියාමන අනුමැතියන් ඉදිරියේදී හිමි වීමට නියමිතව ඇතැයිද අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම ණයකර මිලදී ගැනීම සඳහා විවෘත කෙරෙන දිනය මෙන්ම එහිදී ලබා දෙන පොළීඅනුපාත පිළිබඳවද අනාවරණය කිරීමට නියමිතව ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් සඳහා පවත්වාගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කරගැනීම් වෙනුවෙන් මෙම ණයකර නිකුතුව සිදු කෙරෙන බව සඳහන් වෙයි.

මෙම ප්‍රාග්ධන අවශ්‍යතාව මූලික කරගනිමින් මීට පෙර අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් යෝජනා වී තිබුණද, පසුව එම සමාගම් දෙකම එම කාරණාවෙන්ඉවත් වූ බව පසුගිය අගෝස්තු මාසයේදීඅනාවරණය කෙරිණි.

මෙම යෝජනාවට අනුව අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 33,063,877ක් එනම් 49.67%ක ප්‍රතිශතයක් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් වෙත අලෙවි කිරීමක් සිදු වීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා වන නියාමන අනුමැතිය හිමිවිය යුතුව තිබුණි.

කෙසේ වෙතත් 2020/21මූල්‍ය වර්ෂයේදී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් 427,166,006ක බදු පසු ලාභයක් රැස් කරගැනීමට සමත්ව ඇති බවත්, 2021/22 මූල්‍ය වර්ෂයේදී ඊට වඩා ශක්තිමත්කාර්යසාධනයක් පෙන්වනු ඇති බවත් සඳහන් කරමින් එම සමාගම් දෙකම මෙම අත්පත් කරගැනීමේ යෝජනාවෙන් ඉවත් විය.

මේ අතර, ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 27ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ සටහන්ව තිබූ රුපියල් 26ට සාපේක්ෂව රුපියල් 1ක එනම් 3.85%ක වර්ධනයකි.

Visits: 133