කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයේ වැඩභාරගනී

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 15 වැනි අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා භාරගැනිම අද පෙරවරුවේ සිදුවිය. ඒ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වූ දෙවැනි අවස්ථාවද මෙයයි. මෙම පත්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද ඒ මහතා වෙත පිළිගැන්වුණි.

මහ බැංකුවෙහි අධිපතිවරයා ලෙස නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමක් සිදු කර ඇති කබ්රාල් මහතා, සියලු දෙනාගේම සහයෝගය සහිතව ආර්ථිකය අඛණ්ඩව ස්ථායිතාව කරා යොමු කරන බවත් සහතික වී තිබේ.

ඒ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

“නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම මා ලද භාග්‍යයක් වන අතර, මෙම වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය හා පැහැදීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. අපේ රටේ දහස් ගණන් ජනතාවගෙන් මට ලැබුණු සුභ පැතුම්ද මා බෙහෙවින් අගය කරනවා.

ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලන බවටත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායිතාව කරා යොමු කරන බවටත් මා ඒ සියලු දෙනාටම සහතික වෙනවා.

එසේම මහ බැංකුවේ සිටින දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම, මා නුදුරේදී ම සාකච්ඡා කිරිමට බලාපොරොත්තුවන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයද මා අපේක්ෂා කරනවා.

රජය, බැංකුකරුවන්, ආනයනකරුවන්, අපනයනකරුවන්, ණය දෙන්නන්, ණය ගන්නන්, ආයෝජකයින්, සංවර්ධන කාර්යයන්හි නිරතවන්නන්, සේවා සපයන්නන්, කාර්මික ව්‍යපාර, විනිමය ආයතන, සිල්ලර වෙළෙදුන්, තොග වෙළෙඳුන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික ස්ථායිතාව අත්විදිය යුතු වෙනවා. අනවශ්‍ය බිය දුරු වී අහිතකර අපේක්ෂා උත්සන්න නොවන්නේ එවිටයි.

එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා විශේෂයෙන්ම වර්තමානය වැනි කැලඹිලි සහිත කාලපරිච්ඡේදවලදී ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්හ මහ බැංකුව පැහැදිලි හා ස්ථිරසාර මග පෙන්වීමක් ලබා දිය යුතු වෙනවා. එබැවින් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවුඩයක් ලබාදීම සහ එමගින් මූල්‍ය අංශයේ ස්ථායිතාව සහතික කිරීම මගේ අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන කාර්යය වනු ඇත.

එම ඉලක්ක සපුරා ගැනීම සඳහා, මහ බැංකුව, සිය කැපවීම පිළිබිඹු වන පරිදි අවශ්‍ය පියවර ගත යුතු වන අතර, ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට අනුගමනය කළ හැකි කෙටි කාලීන පෙර දැක්මක ස්වරූපයේ ප්‍රතිපත්ති මාලාවක් හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කිරිමටද අප බලාපොරොත්තු වෙනවා.”

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

Visits: 53