හැරීගේ අලුත්ම United Dairies Lanka සමාගමෙන් 2022 වන විට කිරි ලීටර් මිලියන 5ක්

සුප්‍රසිද්ධ ව්‍යපාරික හැරී ජයවර්ධන මහතාට අයත් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමූහය මගින් ආරම්භ කර ඇති United Dairies Lanka (Pvt) Ltd කිරි නිෂ්පාදන සමාගම හරහා 2022 වසර අවසන් වනවිට තවත් කිරි ලීටර් මිලියන 5ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි එම සමූහය පවසයි.

රුපියල් බිලියන 3.5ක ආයෝජනයක් යටතේ 2018 වසරේදී මෙම United Dairies Lanka (Pvt) Ltd සමාගම පිහිටුවුණු අතර, ඒ හරහා එම සමූහයේ කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණ වී තිබේ.

එහෙත් පසුගිය කාලසීමාවේදී පැවැති වසංගත තත්ත්වය ඇතුළු කාරණා හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්පූරෟණ කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති අතර, මේ වසරේ අවසානය වනවිට එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට බලාපොරොත්තුව වී තිබේ.

ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී විසින් 2020/21 මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කරන ලද සිය වාර්ෂික වාර්තාව තුළ මේ පිළිබඳව සටහන් කර තිබේ.

මෙම United Dairies Lanka (Pvt) Ltd සමාගම ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගමෙහි 100%ක හිමිකාරීත්වයක් සහිත පරිපාලිත සමාගමකි.

අද වනවිට ලංකා ඩේරීස් පෞද්ගලික සමාගම, අඹේවෙල ප්‍රඩක්ට්ස් (පෞද්) සමාගම, පට්ටිපොල ලයිව්ස්ටොක් කම්පැනි ලිමිටඩ්, අඹේවෙල ලයිව්ස්ටොක් කම්පැනි ලිමිටඩ්, ඉන්දු ලංකා එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම සහ අලුතින් පිහිට වුණු මෙම United Dairies Lanka (Pvt) Ltd යන සමාගම් සියල්ලම එක් කරමින් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමූහය සමන්විත වෙයි.

මෙම නව සමාගම පිළිබඳව අදහස් දක්වන ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සීහි සභාපති හැරී ජයවර්ධන මහතා, “United Dairies Lanka (Pvt) Ltd සමාගම හරහා අපගේ ගොවිපොළ සතු ගවයන් සංඛ්‍යාව ඉහළ නැංවීමත්, කිරි නිෂ්පාදනයේ ගුණාත්මක බව වර්ධනයත් අරමුණක්.” යනුවෙන් පවසා ඇත.

මෙහිදී එම නව සමාගම අඹේවෙල සහ පට්ටිපොල යන සිය සමාගමට අයත් ගොවිපොළ දෙකෙහිම පිහිටුවෙන බවත්, එහිදී ඉදි කෙරෙන නවීනතම තාක්ෂණයෙන් යුත් ගව මඩු හරහා ගවයින් සඳහා වඩාත් පහසු සහ සෞඛ්‍යමත් පරිසරයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී පවසා තිබේ.

“අනාගතයේදී මෙම පරිශ්‍රය තුළ ගවයින් 2000ට රැඳී සිටීමට අවස්ථාව හිමි වේවි. එහිදී ගවයින්ගේ මළ සහ මුත්‍රා මගින් නිපදවෙන ගව පොහොර ඉවත් කිරීම සඳහා සහ බිම පිරිසිදු කිරිම සඳහා ස්වයංක්‍රීය ක්‍රමවේදයක් භාවිතා කෙරනවා. ඒ වගේම ඩිජිටල් ක්‍රමයට පාලනය කෙරෙන කිරි රැස් කරගැනීමේ අවකාශ පිහිටු වෙන අතර, එහිදී එක් එක් ගවයා සතු කිරිවල ගුණාත්මක බව හඳුනාගෙන ඔවුන් වර්ග කිරීමක් සිදු කෙරෙනවා.” යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී පවසා තිබේ.

එසේම ගවයන් සඳහා ඇති වන රෝග ඉක්මණින්ම හඳුනාගැනීමත් එම රෝගී ගවයන් අනෙකුත් ගවයන්ගෙන් වෙන්කර තැබීමත් සඳහාද ක්‍රමවේද සකස් කරන බවත් ඔහු මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම රට තුළ විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඉදිරියේදී කිරිපිටි ආනයනය කිරිම සීමා කිරිම සඳහා රජය විසින් ගෙන ඇති තීරණයට මෙම ව්‍යාපෘතිය හරහා පහසුකම් සැලසෙන බවත්, ඒ හරහා ආනයනික කිරිපිටි වෙනුවට වඩාත් නැවුම් කිරි නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට ලබාදිය හැකි වෙනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මෙම United Dairies Lanka (Pvt) Ltd සමාගම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය වෙනුවෙන් එතෙක් මෙතෙක් සිදු කෙරුණු විශාලතම ආයෝජනයක් ලෙස සැලකිය හැකි බවත් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී එම්. දහනායක මහතා, “මෙම United Dairies Lanka (Pvt) Ltd ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලංකා මිල්ක් ෆුඩ්ස් සමූහය සතු අනෙකුත් ගොවිපොළ තුනත් සමගින්ම එය ලෝකයේ මුල් පෙළේ කිරිගොවිපොළ අතරට පත්වේවි. එය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ආඩම්භර විය හැකි තත්ත්වයක්.” යනුවෙන් පවසා තිබේ.

Visits: 868