“කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායන් පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම වඩාත් යහපත්ය” – ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) යනු  ඕනෑම ආර්ථිකයක කොඳු නාරටිය වන අතර ශ්‍රී ලංකාවට ද එය එසේමය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන වැදගත් දායකත්වය ආර්ථිකමය වශයෙන් අත්‍යාවශ්‍ය ක්ෂේත‍්‍රයක් වන මෙරට ඇඟළුම් කර්මාන්තයෙන් පෙන්නුම් කරන බව ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය පවසයි.

සමස්තයක් වශයෙන්, මෙරට අපනයනවලින් හා විදේශ විනිමය උත්පාදනයෙන් 48% කට ආසන්න ප‍්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයයි. මීට අමතරව ශ‍්‍රී ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ඇමරිකානු ඩොලර් බිලියන 84 ක් එනම් 7% ක දායකත්වයක් ලබා දෙනු ලබන්නේද ඇඟළුම් කර්මාන්තයයි.

තවද, මෙරට කර්මාන්ත අංශයේ ඇති සියලූම රැකියාවලින් දළ වශයෙන් 15% ක් නියෝජනය කරනු ලබන්නේ ද මෙම අංශය විසින්ය. එම රැකියා 350,000 න් 20,000 ක් ඇඟළුම් කර්මාන්තයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලෙස සේවයේ නිරත වෙයි. ශ‍්‍රී ලංකාවේ සියලූම අපනයන ආදායම්වලින් අඩකට ආසන්න ප‍්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙන මෙම රැකියා 350,000 සැලකිල්ලට ගැනීමේදී මෙරට ඇඟලූම් අංශය සහ එය නියෝජනය කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ආර්ථිකමය වශයෙන් ඉතා වටිනා කාර්යභාරයක් සිදු කරන බව මනාව පැහැදිලි වේ.

පහළ මට්ටමේ ඇති බාධාවන්
”රටේ සහ ඇඟළුම් කර්මාන්තයේ බොහොමයක් විශාල සමාගම් මුලින්ම සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද්දේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙසයි.’’ යනුවෙන් ප‍්‍රමුඛ පෙළේ ඇඟළුම් නිෂ්පාදකයෙකු වන සරසවි එක්ස්පෝට්ස් හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත පෙරේරා මහතා පවසයි.

“බොහෝ බාධක, අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ අඛණ්ඩ සංවර්ධනය උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබෙන අතර කර්මාන්තයෙන් වැඩි යමක් අපේක්ෂා නොකර ඒ ආකාරයේ ඉතා වැදගත් කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කිරීමට ඔවුන්ට හැකිව තිබෙනවා.’’ ඔහු පවසයි.

කෙසේවෙතත්, කොවිඞ්-19 වසංගතය ආරම්භ වීමත් සමඟ බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයින්ගේ දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය. ඔවුන්ගේ ව්‍යාපාර නැවත ගොඩනගා ගැනීම සඳහා සැලසුම් සහිත ක‍්‍රමවේදයන් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී. ඔවුන්ට ඒ සඳහා ඇති විශාලතම නම් බාධාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ දැනට පවතින ව්‍යූහයයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 80% ක් පමණ තම ව්‍යාපාර සඳහා ඇණවුම් ලබා ගන්නේ විශාල අපනයන සමාගම් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමෙන් ය. ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය කිසිඳු බාධාවකින් තොරව සිදු වෙමින් පැවති විට, ඇඟළුම් ඇණවුම් පහත වැටීම හේතුවෙන් අවශ්‍ය වූ විට විශාල සමාගම්වල නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට මෙම අංශයට අවස්ථාව හිමි විය.

‘‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ඇඟළුම් අංශයට සෑම විටම ප‍්‍රමාණවත් ඇණවුම් ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් සෑම වසරකම මාස 3ක් පමණ ඇණවුම් පහළ වැටීමක් අප අපේක්ෂා කරනවා. ඒ කාලයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිෂ්පාදන කටයුතු බොහෝවිට අකර්මණ්‍ය ස්වභාවයක් ගන්නවා.’’ යනුවෙන් මෙරට මධ්‍යම පරිමාණයේ ඇඟළුම් ව්‍යාපාරයක් වන එස්ටිලෝ ඇපරල් හි කළමනාකාර අධ්‍යක්ෂ රන්ත තිසේරා මහතා සඳහන් කරයි.

ව්‍යාපාර පුනර්ජීවනය සඳහා වන අරමුදල්
කොවිඞ්-19 වසංගතයේ ඇරඹීමත් සමඟ ඇණවුම් අවලංගු වීම නිසා ලොව පුරා ඇඟළුම් නිෂ්පාදකයින්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. මේ හේතුවෙන් සෑම තැනකම පාහේ තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර දිනෙන් දින අඩාල වන බව දැක ගත හැකිය. කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට ආරක්ෂිත ක‍්‍රමවේද සෙවීමට අමතරව ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා මූල්‍ය ප‍්‍රාග්ධනය එක්රැස් කිරීම පිළිබඳව සැලකිලිමත් වේ.

‘‘ව්‍යාපාර හොඳින් පවතින විටදී පවා කාරක ප‍්‍රාග්ධනය සොයා ගැනීම අභියෝගයක් වන අතර එයට මුහුණ දීම සඳහා අපට යම් සහායක් අවශ්‍ය වනවා. ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා අප අතරින් කවරෙකුට කාරක ප‍්‍රාග්ධනය ඉක්මනින් අවශ්‍ය කාටදැයි නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. මීට අමතරව බාධාවකින් තොරව ආරක්ෂිතව ව්‍යාපාරික කටයුතු කළ හැකි බවට සහතික වීමක් ද අවශ්‍ය කරනවා.’’ යනුවෙන් සන් ක්වීන් ගාමන්ට්ස් හි අධ්‍යක්ෂ රුෂාන් පෙරේරා පවසයි.

කාරක ප‍්‍රාග්ධනය කාලීනව දැඩි අවශ්‍යතාවයක්ව පවතින අතර ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයින් සඳහා වඩාත් ස්ථාවර හා තිරසාර මාර්ගයක් ඇති කිරීම සඳහා නව යන්ත‍්‍ර සූත‍්‍ර මිලදී ගැනීමට හෝ ව්‍යාපාරවල දැනට පවතින පහසුකම් වැඩිදියුණු කිරීමට ආයෝජන ප‍්‍රාග්ධනය අත්‍යවශ්‍ය වනු ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර ධාරතාව ආරක්ෂිතව ඉහළ නැංවීම සඳහා එන්නත් කිරීම අත්‍යාවශ්‍ය වේ
මෙම වසංගතය නිසා ඇති වූ තත්වයන් තවත් මාස කිහිපයක් පවතිනු ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර බොහොමයක් අපේක්ෂා කරයි. කොවිඞ් තුන්වන රැල්ලක් ඇති වීමේ බරපතල හැකියාව පිළිබඳව ඔවුන් සියලූ දෙනා තුළ බියක් පවතී. කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර හිමිකරුවෝ මෙන්ම සේවකයෝද තමන්ට ආරක්ෂිතව ක‍්‍රියාකළ හැක්කේ කෙසේදැයි සැලකිලිමත් වෙති. එන්නත්කරණය පිළිබඳව සැලකීමේදී එය විශාල ක‍්‍රියාවලියක් වීම හා භූගෝලීය වශයෙන් විශාල ප‍්‍රදේශයක එය සිදු කිරීම අභියෝගයක් වුවද කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාරවල ශ‍්‍රම බලකායට අනාගතය සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය බව සැවොම පිළිගන්නා කරුණකි.

‘‘අපගේ සාමාජිකත්වය සතුව 20,000 කට අධික පිරිසක් සේවය කරන අතර ඔවුන්ගෙන් 90% කට වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබෙනවා. කෙසේවෙතත්, අපගේ සංගමයෙන් පිටත සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයින් ගණනාවකට ද කොවිඞ් එන්නත් ලබා දිය යුතුව තිබෙනවා. එමගින් නැවත රැකියාවට යාමට ඔවුන් තුළ දැඩි ආත්ම විශ්වාසයක් ඇති වේවි.’’ යනුවෙන් ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදයේ ලේකම්, රොෂාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

ඉදිරියට යෑම: බිම් මට්ටමේ සහාය
මේ සඳහා ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) ආරක්ෂිත ක‍්‍රමවේද පිළිබඳව හොඳම ක‍්‍රමෝපායන් බෙදාහදා ගැනීමට සිය සාමාජිකයින් සමඟ ක‍්‍රියාකාරීව සම්බන්ධ වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ශ‍්‍රම බලකාය ද කඩිනමින් එන්නත් කිරීම සඳහා මහජන සෞඛ්‍ය නිළධාරීන් හා රජය සමඟ සම්බන්ධීකරණය වේගවත් කරමින් සිටී.

‘‘ඊළඟ පියවර ලෙස සේවක සේවිකාවන්ගේ පවුලේ සාමාජිකයින් එන්නත් කිරීම ගැන අප සිතා බැලිය යුතුයි. පවුලේ සාමාජිකයෙකු නිසා සේවකයෙකුට කොවිඞ් ආසාදනය වී නිවසේ ගත කිරීමට සිදු වීම හෝ අනවශ්‍ය කලබලයට පත් වීම අප අපේක්ෂා කරන්නේ නෑ. තවත් දිගුකාලීන අර්බුදයකට මුහුණ දීමට සිදු වුවහොත් නැවත දෙපයින් නැගී සිටීමට අපට අපහසු වනු ඇත.’’ යනුවෙන් රේන්බෝ ඇපරල් හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩෙන්වර් ජයසුන්දර මහතා පැවසීය.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය හා විශාල ඇඟළුම් සමාගම් ද ඇඟළුම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ ප‍්‍රජාවට එන්නත් කිරීම කඩිනම් කිරීම සඳහා ජාතික හා ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටී. මෙම කාරණය ඇඟළුම් වැනි බිම් මට්ටමේ ආර්ථිකයන් නැවත පණගැන්වීම සඳහා ඉතා වැදගත් වේ.

GSP+ වරණීය බදු සහනය අඛණ්ඩව ලබා ගැනීම මෙරට බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් බලාපොරොත්තු වන තවත් කරුණකි. මෙමගින් ඔවුන්ට යුරෝපා සංගමයේ නිර්දේශිත තිරසාරභාවය, සදාරාත්මක නිෂ්පාදනය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවශ්‍යතා සහිත වෙළෙඳපොලට ඍජුවම ප‍්‍රවේශ වීමට අවස්ථාව හිමි වේ. යුරෝපා සංගමයේ GSP+ සහනය අඛණ්ඩව පවත්වා ගෙන යාම, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි සමාන GSP වැඩසටහන් ඇති වෙළෙඳපලවලට සහතිකයක් වැනිය.

Visits: 117