සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමත් මූලික කොටස් නිකුතුවකට සූදානමින්

මෙරට සුප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඒ.ටී. ආරියරත්න මහතාගේ නායකත්වයෙන් සර්වෝදය ව්‍යාපාරයේ මූල්‍ය හස්තය වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ඉදිරියේදී මූලික කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අනුව එම සමාගමෙහි 30.38%ක කොටස් ප්‍රතිශතයක් එනම් සමස්ත කොටස් අතරින් කොටස් මිලියන 45.45ක් මෙම නිකුතුව හරහා මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම සැලසුම වී තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 22ක් බැගින් මිල කෙරී ඇති අතර සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 1කි.

අද වනවිට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 51.85%ක් සර්වෝදය ඉකොනොමික් එන්ටර්ප්‍රයිස් ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම වෙත හිමිව ඇත. මෙම මූලික කොටස් නිකුතුවෙන් අනතුරුව එය 36%ක් දක්වා අඩුවීමට නියමිතව ඇත.

එසේම එහි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන ජපානයේ ගෙන්ටොෂා සමාගම සතු කොටස් ප්‍රතිශතයත 13% සිට 9%ක් දක්වා අඩු වෙයි. මීට අමතරව සමාගමෙහි තනි විශාලතම ආයෝජකයා වන ආචාර්ය ටී. සෙන්තිවර්ල් මහතා සතු කොටස් ප්‍රතිශතය 6.63% සිට 4.6%ක් දක්වා අඩුවන බවත් එම සමාගම පවසයි.

ශ්‍රී ලංකායේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගම් සඳහා පවත්වා ගත යුතු බවට මහ බැංකුව මගින් නිර්දේශ කර ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාගැනීම වෙනුවෙන් මෙම මූලික කොටස් නිකුතුව සිදුකරන බව සමාගම පවසයි. එසේම එම සමාගමේ ඉදිරි සංවර්ධන සැලසුම් වෙත අවශ්‍ය මුදල් සම්පාදනයද මෙහි තවත් එක් අරමුණකි.

අද වනවිට සර්වෝදය ඩිවපොල්මන්ට් ෆිනෑන්ස් සතුව දිවයින පුරා ක්‍රියාත්මක ශාඛා 30ක් සහ සේවා ස්ථාන 21ක් පවතී. 2021මූල්‍ය වර්ෂය වන විට සමාගමෙහි සමස්ත වත්කම රුපියල් බිලියන 9ක් ලෙස සටහන්ව ඇත. එසේම එහි පොළී ආදායම රුපියල් බිලියන 1.6ක් ලෙස සටහන්ව ඇති අතර, ලාභය රුපියල් මිලියන 183කි. එම සමාගමේ සමස්ත පාරිභෝගික පදනම 135,000කට අධික වන අතර ඉන් 57%ක්ම කාන්තාවන් බවත් පැවසෙයි.

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම ඉදිරියේදී ඩිජිටල් පරිවර්තනයක් වෙතයාමටද සැලසුම් කර ඇති අතර, ඒ හරහා අංගසම්පූර්ණ ඩිජිටල් සේවාවක් සිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් සිය වර්ධනය තවදුරටත් ඉහළ නංවාගැනීමත් අරමුණ වී තිබේ.

Visits: 360