මෙරට තුළ කහ වගා කිරීමේ ඉලක්කය අසාර්ථකයිලු – නීතිවිරෝධීව ගෙනා කහ ‘සතොස’ හරහා අලෙවියට

විවිධ ජාවාරම්කරුවන් ඉන්දියාව හරහා මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කහ තොග සතොස හරහා අඩුමිලට අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒඅනුව උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයන්හිදී ඩිංගි බෝට්ටු මගින් මෙරටට රැගෙන එමින් තිබියදී මේ වසරේදී නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ කහ තොග මෙලෙස සතොස හරහා කිලෝවක් රුපියල් 1,800ක් බැගින් අලෙවි කිරීමට රජය තීරණය කර තිබෙන බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

රට තුළ කහ හිඟයක් ඇති වීමේ අවස්ථාවක් පැවතීමත් සමගින්ම මෙලෙස නීතිවිරෝධීව රැගෙන ආ කහ තොග අලෙවි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් තීරණයක් ගෙන තිබෙන බව ඒ යටතේ පවතින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුවත්පත වෙත පවසා තිබේ.

පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී රජය විසින් ගන්නා ලද තීරණයකට අනුව කහ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණි. එහිදී දේශීය කහ වගාකරුවන් දිරිමත් කිරීම අරමුණ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස කිලෝවක් රුපියල් 800ක් බැගින් අලෙවි වූ කහ පසුව රුපියල් 6,000ක් දක්වා ඉහළ නැගීම සිදු වුණු බව පුවත්පත පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් බොහෝ කහ නිෂ්පාදකයන් සිය නිෂ්පාදන බාල කිරීමටත්, ඇතැම් පිරිස් ඉන්දියාවේ සිට මෙලෙස කහ ජාවාරම් කිරීමටත් පෙළැඹීම සිදු විය.

එහිදී අත්අඩංගුවට ගන්නා ලද කහ තොග දහස් ගණනින් ප්‍රසිද්ධියේම විනාශ කර දැමීමත් සිදු විය.

මේ අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේදී ක්‍රියාත්මක කරන ලද කහ වගා කිරීමේ වැඩපිළිවෙළඳ මේ වනවිට අසාර්ථකවී ඇතැයි පැවසෙයි. මේ හරහා සැපිරීමට හැකියාව ලැබී ඇත්තේ දේශීය කහ අවශ්‍යතාවයෙන් අඩක් පමණකි.

වාර්තාවලට අනුව මෙරට වාර්ෂික කහ කුඩු පරිභෝජනය මෙට්‍රික් ටොන් 7,000ක් ඉක්මවා තිබේ. මෙලෙස නීතිවිරෝධී කහ තොග අලෙවියට තැබිමට සිදුව ඇත්තේ ඒ හේතුවෙනි.

ඒඅනුව පසුගිය වසරේදී රට වෙත නීතිවිරෝධීව රැගෙන එන කහ දේශීය වෙළෙඳ පොළට පැමිණීම වැළැක්වීමට බලධාරීන් පියවර ගත්තද, මතුව තිබෙන තත්ත්වයත් සමගින්ම මේ වසරේදී එම තීරණය වෙනස් කරමින් එම අත්අඩංගුවට ගන්නා ලද කහ තොග දේශීය වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට කෘෂිකර්ම බලධාරීන් තීරණය කර ඇතැයි සඳහන් වෙයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත සහ නාවික හමුදා දත්ත අනුව 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසයේ 06 වැනිදා දක්වා කාලය තුළදී නීතිවිරෝධී ලෙස ඩිංගි බෝට්ටු ඇතුළු වෙනත් යාත්‍රා මගින් මෙරටට ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 20,000කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන බවත් පුවත්පත වැඩිදුරටත් පවසයි.

මේ අතර පසුගිය කාලසීමාවේදී මෙලෙස අත්අඩංගුවට ගන්නා කහ තොග විනාශ නොකර ඒවා ගබඩා කර ඉදිරියේදී වෙළෙඳ පොළට නිකුත් කිරීමේ හැකියාවක් නැත්දැයි ජනතාව සමාජ මාධ්‍ය හරහා බොහෝ අවස්ථාවලදී විමසීම් පවා සිදු කර තිබුණි.

Visits: 191