වරුණි අමුණුගම HVA Foods හි කොටස් 197,817ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත HVA Foods PLC සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරියක වන වරුණි අමුණුගම මහත්මිය විසින් එම සමාගමෙහි කොටස් 197,817ක් මිලදී ගෙන ඇතැයි පවසයි.

පසුගිය සැප්තැම්බර් 02 වැනිදා සිට 06 වැනිදා දක්වා අවස්ථා තුනකදී මෙම මිලදී ගැනීම සිදුව තිබේ. (සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 84,790ක්, 5,000ක්, 47,039ක් සහ 60,988ක් ලෙස) මෙහිදී කොටසක් රුපියල් 8.20ක අවම මිලටත් රුපියල් 8.30ක උපරිම මිලටත් මිලදී ගැනීම සිදුව ඇත.

ඒ අනුව මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 1.6ක් (1‍,631,998.00ක්) ලෙස ගණන් බලා ඇත.

වරුණි අමුණුගම මහත්මිය සිදු කළ මෙම කොටස් මිලදී ගැනීම සිය ස්වාමියා වන HVA Foods PLC සමාගමෙහි හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාට අයත් කොටස් බව එම සමාගම සඳහන් කරයි. ඒ මහතා 2021 පෙබරවාරි 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සභාපති ධුරයෙන් ඉවත් විය.

2021 මාර්තු 31 වැනිදා වනවිට රොහාන් ප්‍රනාන්දු මහතා සතුව HVA Foods PLC සමාගමෙහි කොටස් 533,625ක් පැවති බවත් එය සමස්ත කොටස් ප්‍රමාණයෙන් 0.80%ක ප්‍රතිශතයක් බවත් පසුගියදා නිකුත් කෙරුණු එම  සමාගමෙහි 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව තුළ සඳහන් වෙයි.

මෙම වාර්ෂික වාර්තාවට අනුව 2021.03.31 වැනිදා විට HVA Foods PLC සමාගමෙහි කොටස් 33,946,105ක එනම් 51.02%ක හිමිකාරීත්වයක් ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි ලිමිටඩ් වෙත හිමිව තිබේ. එසේම කොටස් 6,642,866ක් එනම් 10%ක ප්‍රතිශතයක් රොහාන් ප්‍රනාන්දු මහතාට අයත් HVA Lanka Exports (Pvt) Ltd වෙත හිමිව ඇත.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී HVA Foods PLC සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 7.90ක් ලෙස සටහන් විය. එය පෙර දිනයට සාපේක්ෂව කොටසකවටිනාකම රුපියල් ශත 60කින් එනම් -7.06කින් අඩුවීමකි.

Visits: 896