Ford සමාගම ඉන්දියාව තුළ සිය නිෂ්පාදන සහ අලෙවි මෙහෙයුම් අත්හිටුවයි

ඉන්දියාව තුළ පිහිටි සිය කර්මාන්තශාලා සියල්ල වසා දමමින් ලබන වසර වන විට එරට තුළ සිදු කරන සියලුම ආකාරයේ මෝටර් රථ නිෂ්පාදනයන් නවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ Ford Motor Co. සමාගම පවසයි. ඊයේ (09දා) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ඉන්දියාව තුළ මෙහෙයුම් අත්හිටුවන ආසන්නතම විදේශීය මෝටර් රථ නිෂ්පාදන සමාගම බවටත් එක්සත් ජනපදයේ මිචිගන්හි පිහිටි Ford Motor Co. සමාගම පත්ව තිබේ.

මෙම තීරණයට අනුව ගුජරාටයේ පිහිටි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව මේ වසරේ සිව්වැනි කාර්තුවේදී වසා දමන බවත්, චෙන්නායි නුවර පිහිටි මෝටර් රථ සහ එන්ජින් නිෂ්පාදන කර්මාන්තශාලා ලබන වසරේ දෙවැනි කාර්තුව වනවිට වසා තමන බවත් Ford Motor සමාගම පවසා ඇත.

මේ හේතුවේ බලපෑමට ලක්වන රැකියා සංඛ්‍යාව 4,000ක් පමණ වන බවත් ගණන් බලා තිබේ.

Ford සමාගම වසර ගණනක් පුරා ඉන්දියාව තුළ ලැබූ අලාභ මෙලෙස එම වෙළෙඳ පොළින් ඉවත්වීමට හේතුව බව Ford India සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අන්රාග් මල්හෝත්‍රා පවසා තිබේ. “වසර ගණනාවක් පුරා සමාගම ලැබූ අලාභයන් මේ තීරණය ක්‍රියාත්මක කිරිමට හේතු වුණා. ඒ වගේම ඉන්දියානු මෝටර් රථ වෙළෙඳ පොළ තුළ බලාපොරොත්තු වූ වර්ධනයක් අත්කරගැනීමට ෆෝර්ඩ් සමාගමට හැකි වුණේ නෑ. විශේෂයෙන්ම රට තුළ මෝටර් රථ නිෂ්පාදනය කරන ඉන්දියාව වැනි රටක් තුළදී අනාගතයේදීත් සමාගමට දිගුකාලීනව ලාභදායී තිරසාර මාවතක් බලාපොරොත්තු වෙන්න බැහැ.” යනුවෙන් ඔහු පවසා ඇත.

මේ අතර ඉදිරියේදී චෙන්නායි මූලික කරගත් Ford Business Solutions කණ්ඩායම හරහා Ford සමාගමේ වඩාත් ප්‍රචලිත ගෝලීය මෝටර් රථ සහ විදුලියෙන් ක්‍රියාත්මක SUV රථ ඉන්දියාව තුළ අලෙවි කිරීම සම්බන්ධයෙන් වන සැලසුම් පුළුල් කිරීම් මේ වනවිටත් සිදු කෙරමින් පවතින බවත් Ford Motor Co. සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

විශේෂයෙන්ම විදේශීය මෝටර් රථ නිෂ්පාදකයන්ට ඉන්දියාව තුළ සිය මෙහෙයුම් සිදු කිරීම ඉතාමත් අසීරු කරුණක් බවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. එහිදී මරුටි සුසුකි වුනා ඉතාමත් අඩු මිලක් යටතේ මෝටර් රථ නිෂ්පාදනය සිදු කර සමාගම් වෙළෙඳ පොළ ආධිපත්‍ය පවත්වාගෙන යාම ඊට හේතුව වී ඇත. එසේම එසේම ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක මෝටර් රථ සඳහා ඉන්දීය රජය පනවා ඇති අධික බදුද මේ සඳහා හේතුවී ඇත.

ජපානයේ ටොයෝටා මොටර් රථ සමාගමද පසුගිය වසරේදී නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාව තුළ පවතින අධික බදු අය කිරීම් නිසා තමන් එරට තුළ තවදුරටත් සිය මෙහෙයුම් පුළුල් කිරීමට බලාපොරොත්තු නොවන බව පවසා තිබුණි. එසේම දැනටමත් එක්සත් ජනපදයේ Harley-Davidson Inc. සමාගම ඉන්දියානු වෙළෙඳ පොළෙන් ඉවත්ව ඇති අතර, General Motors සමාගමත් 2017 වසරේදී ඉන්දියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවීය.

කෙසේ වෙතත් මෙලෙස Ford සමාගම ඉන්දියාවෙන් ඉවත්වීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ Make in India වැඩසටහන වෙත එල්ල වූ දරුණු පහරක් ලෙසද සැලකෙයි.

මේ අතර එලෝන් මස්ක්ගේ Tesla Inc. සමාගමද ඉන්දියාව තුළ සිය කර්මාන්තශාලාවක් පිහිටුවීමට ආසන්න මාස කිහිපයේදී සාකච්ඡා පවත්වා පවත්වන බවත් වාර්තා විය.

එහෙත් එම කර්මාන්තශාලා පිහිටුවීමට පෙරාතුව ඉන්දියාව වෙත අඩු මිලට සිය මෝටර් රථ ආනයනය කර අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස Tesla Inc. සමාගම අගමැති මෝදිගේ රජයෙන් ඉල්ලීම් සිදු කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

Visits: 339