මෙතෙක් එළිනොදැක්වූ රථයක්ද සමගින් Vega Innovations ලෝක විදුලි වාහන දිනය සමරයි

ශ්‍රී ලංකාවේ විදුලි වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Vega Innovations විසින් 2021 සැප්තැම්බර් 09 වැනිදාට (ඊයේ) යෙදුණු ලෝක විදුලි වාහන දිනය (World EV Day) ඉතා ඉහළින් සමරන බව පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබන Vega Innovations, තම සමාගම ගෝලීය වෙළෙඳ පොළ අවශ්‍ය අනාගත විදුලි වාහන නිර්මාණය සහ නිෂ්පාදනය සඳහාම වෙන් වුණු සමාගමක් බව පවසා සිටියි.

එහිදී මෝටර්රථ තාක්ෂණයන්ගේ සිට ChargNet ජාලය හරහා සිදු කරන විදුලි මෝටර් රථ ආරෝපණය දක්වා වන ප්‍රමුඛ පෙළේ විද්‍යුතනය කිරීමේ විකල්ප රැසක්ම අද වනවිට තමන් සතුව ඇතැයි Vega Innovations පවසයි.

ඒ හරහා ශ්‍රී ලංකාවේ තාක්ෂණය ලෝක මට්ටමට ගෙන යාමටත්, ඉදිරි පරම්පරාවලදී ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව ප්‍රබෝධයක් ඇති කිරීමටත් කටයුතු කරන බවත් Vega Innovations මෙවර ලෝක විදුලිමෝටර් රථ දිනය සමරමින් සඳහන් කර සිටියි.

මෙහිදී Vega Innovations සිය ෆේස්බුක් සටහන සඳහා තමන් මෙතෙක් නිපදවූ නිෂ්පාදන වන Vega EVX මෝටර් රථය, Vega ETX ත්‍රීවිලර් රථය මෙන්ම ATV රථයක් සහ සිය ChargNet උපාංග දෙකක්ද ඇතුළත් කරමින් සකස් කළ නිර්මාණයක් යොදා ගෙන ඇත.

මීට අමතරව මෙතෙක් එළි නොදැක්වුණු සිය නවතම නිෂ්පාදනයක්ද මේ සියල්ලටම පසුපසින් ඔවුන් ඉදිරිපත් කර ඇති අතර, එය ආවරණය කර තිබේ. එහෙත් මෙහි හැඩය අනුව එය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පවුලේ වාහනයක පෙනුම ගන්නා බව පැහැදිලිය.

මේ පිළිබඳව ‘’ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අප Vega Innovations අමතා තොරතුරු විමසූ අතර, එහිදී අදහස් දක්වා සිටි සමාගමේ අධ්‍යක්ෂ සහ ක්‍රමෝපායික සැලසුම් ප්‍රධානී බෙෂාන් කුලාපල මහතා එය පවුලේ මෝටර් රථයක් ලෙස එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත්, දැනට මූලික නිර්මාණාත්මක සැලසුම් අදියරේ පවතින්නක් බව සඳහන් කර සිටියේය.

Visits: 265