ප්‍රධාන සමාගම්හි ආයෝජකයන් සිය කොටස් අලෙවි කිරීම නිසා දර්ශක අගයන් කඩා වැටේ

අද (සැප්තැම්බර් 08) දිනයේදී කොටස් හුවමාරුව තුළ ගනුදෙනු අතරදී මූලිකවම LOLC සමූහයේ සහ EXPO සමාගමේ කොටස් අලෙවි කිරිමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම මහ බැංකුව බැංකු පොළී අනුපාතික ඉහළ දැමීමේ තීරණය සහ එක්සත් ජනපද ඩොලර් වටිනාකම රුපියල් 200ක මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය කිරිම යනාදී කාරණා ආයෝජකයන් යම් අර්බුදයකට පත් කරවූ බවද එම සමාගම් සඳහන් කරයි. මෙම කරුණුවල ප්‍රතිඵල ලෙස අද දිනයේදී දර්ශක අගයන් දෙකම දරුණු කඩා වැටීමකට ලක් විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,651.51ත් ඒකක 9,130.44ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,764.21ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 07) දිනයට සාපේක්ෂව ඒකක 328.53ක් එනම් -3.61%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු හැටන් නැෂනල් බැංකුව ඡන්ද හිමි කොටස්හි ගනුදෙනුවක් පිරිවැටුමෙන් 5.7%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 24ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 185ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+1.0), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+0.7), හැටන් නැෂනල් බැංකුව HNB (+0.5), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+0.5), නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී CSF (+0.3), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-54.4), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-33.9), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-38.7), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-22.9), හේලීස් පීඑල්සී HAYL (-16.0යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,313.02ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 07) ‍ට සාපේක්ෂව ඒකක 102.44ක එනම් -3.00%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.44ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 07) වාර්තා කළ රුපියල් බිලියන 8.67ට සාපේක්ෂව 21% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.91ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 31.91%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 69.18ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 314.1ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 244.92කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 41.93ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.58කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 111.50ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,677ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 35%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධ භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,313ක සහ රුපියල් මිලියන 1,488ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 653