කොමර්ෂල් බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණයකර නිකුතුවක්

මෙරට මුල් පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 10ක් වටිනා සිය ණයකර කොටස් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි.

දැනටමත් මෙම ණයකර නිකුතුව සඳහා වන අනුමැතිය කොළඹ කොටස් හුවමාරුවෙන් හිමිව ඇති බවත් ඉදිරියේදී එය නිකුත් කිරීමට කටයුතු යොදන බවත් බැංකුව සඳහන් කරයි.

මෙහිදී මෙම ණයකර නිකුතුව බාසෙල් III සම්මුතියට අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, ආපසු මුදවා ගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ.

කොමර්ෂල් බැංකුව සඳහන් කරන ආකාරයට ඉහත සඳහන් ආකාරය යටතේ පළමු නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කිරීම සිදු වෙයි.

එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිලකර ඇති අතර, මෙම මූලික නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 5කි.

එසේම මෙම මූලික නිකුතුවට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කිරීමටද කොමර්ෂල් බැංකුව පියවර ගන්නා බව පවසයි. එහි වටිනාකමද රුපියල් බිලියන 5කි.

ඒ අනුව මෙම සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10ක් ලෙස ගණන් බලා තිබේ.

මෙම ණයකර නිකුතුව Type A සහ Type B ලෙස කාණ්ඩ දෙකකට වර්ග කෙරී තිබේ.

ඒ අතරින් Type A කාණ්ඩයේ ණයකර නිකුතුව පස් අවුරුදු කාලයකින් කල් පිරීමක් සිදු වෙයි. එහිදී වාර්ෂිකව 9.0%ක (වාර්ෂිප පොළී අනුපාතය 9.20%) ස්ථාවර කූපන් අනුපාතයක් යටතේ පොලියක් හිමිවන ලෙස මෙය නිකුත් කෙරෙන අතර, එය අර්ධවාර්ෂික ආකාරයෙන් ගෙවීම සිදු වෙයි.

එසේම Type B කාණ්ඩයේ ණයකර නිකුතුව හත් අවුරුදු කාලයකින් කල් පිරීමක් සිදු වෙයි. එහිදී වාර්ෂිකව 9.50%ක (වාර්ෂික පොළී අනුපාතය 9.73%) ස්ථාවර කූපන් අනුපාතයක් යටතේ පොළියක් හිමිවන ලෙස මෙය නිකුත් කෙරෙන අතර, එයද අර්ධවාර්ෂික ආකාරයෙන් ගෙවීම සිදු වෙයි.

Visits: 201