පැරාඔලිම්පික් උළෙලේදී පදක්කම් දිනු ක්‍රීඩකයන්ට ජපානයේදී මෝටර්රථ දෙකක් තෑගි ලැබෙයි

නිමාවට පත් වුණු 2020 පැරා ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම රන් පදක්කම දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් යන ක්‍රීඩකයන් වෙත ජපානයේ ශ්‍රී ලංකා වාහනකරුවන්ගේ සංගමය (Sri Lanka Automobile Exporters Association in Japan) විසින් මෝටර් රථ දෙකක් තෑගි කර ඇතැයි පවසයි.

ඔවුන් දෙපළ දැක් වූ දක්ෂතා වෙත ඇගයීමක් ලෙස මෙලෙස මෙම මෝටර් රථ දෙක ජපානයේ නරීතා ගුවන් තොටුපොළේදී තෑගි කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් මව්රට බලා පිටත්ව ඒමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම තෑගි සංකේතාත්මකව ප්‍රදානය කෙරුණු බව සඳහන් වෙයි.

මෙහිදී රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට Nissan Note මෝටර් රථයක් සහ ලෝකඩ පදක්කම දිනා දුන් සමිත දුලාන් කොඩිතුවක්කු මහතාට Suzuki Alto මෝටර් රථයක් ත්‍යාග ලෙස ප්‍රධානය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති සන්ජීව් ගුණසේකර මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා සංගමය (Sri Lanka Association In Japan) සහ ජපානයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය (Sri Lanka Professional Association in Japan) යන සංගම්වල සාමාජිකයින්ද සහභාගි වී තිබේ.

Visits: 136