අශෝක් පතිරගේ එක්වරකදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්හි රු.මි. 24.3ක් වටිනා කොටස් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සභාපති අශෝක් පතිරගේ මහතා විසින් එම සමාගමෙහි කොටස් මිලියන 1.8ක් (1,800,000ක්) මිලදී ගෙන ඇතැයි එම සමාගම පවසයි.

පසුගිය සැප්තැම්බර් 03 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ මහතා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයාද වෙයි. ඒ අනුව මෙය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු විසින් මිලදී ගත් සමාගමේ කොටස් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී කොටසක් රුපියල් 13.50ක් බැගින් මිලදී ගැනීම සිදුවී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 24.3කි (24,300,000)

අශෝක් පතිරගේ මහතා 2021 වසර තුළදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් මිලදී ගත්පළමු අවස්ථාවද මෙයයි.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් ඔහු සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් 970,678 කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගත්තේය. මීට අමතරව නොවැම්බර් සහ ඔක්තෝබර් මාසවලදීද ඒ මහතා විසින් සමාගමෙහි කොටස් මිලදී ගැනීමක් සිදු කර තිබුණි.

කෙසේ වෙතත් එක්වරකදී විශාල කොටස් ප්‍රමාණයක් මිලදී ගත් පළමු අවස්ථාව පසුගිය සැප්තැම්බර් 03 වැනිදා සිදු කළ මෙම මිලදී ගැනීම බව කොළඹ කොටස් හුවමාරුවෙහි දත්ත මගින් පෙන්වා දෙයි.

පසුගිය අගෝස්තු 17 වැනිදා නිකුත් වුණූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි 2021 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාලසීමාව සඳහා වන කාර්තුමය මූල්‍ය ප්‍රකාශයට අනුව, එම දිනය වනවිට අශෝක් පතිරගේ මහතා සතු සමාගමේ කොටස් 488,008,681ක් බව සටහන්ව තිබුණි.

ඒ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සතුව ඇති කොටස් 717,319,833ක් අතරින් 50%කට වැඩි කොටස් ප්‍රමාණයක් අශෝක් පතිරගේ මහතා සතුව පවතී. එසේම සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් ඒ මහතා සතු කොටස් ප්‍රතිශතය 40.92%කි.

Visits: 1839