රමේෂ් ෂාෆ්ටර් ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන රමේෂ් ෂාෆ්ටර් මහතා එම ධුරයෙන් ඉවත්විමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී පැවැත්වුණු එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී යළිත්වරක් එම ධුරය සඳහා ඉදිරිපත් නොවීමට රමේෂ් මහතා තීරණය කරමින් මෙලෙස එම ධුරයෙන් ඉවත්වීමට පියවර ගෙන ඇත.

ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ජනශක්ති සමූහයට අයත් මූල්‍ය සමාගමකි. එහි වැඩිම කොටස්කරුවා වන්නේ ඔරියන්ට් කැපිටල් ලිමිටඩ් සමාගමයි.

මෙම ඉවත්වීම සිදුවුනු අවස්ථාවේදී රමේෂ් ෂාෆ්ටර් මහතා සතුව සමාගමෙහි කොටස් 10ක හිමිකාරිත්වයක් පැවැති බව ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

එසේම ඒ මහතා ජනශක්ති ලිමිටඩ් සමාගමේද අධ්‍යක්ෂවරයෙකු වන බැවින් එම සමාගමට අයත් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ කොටස් 196,010,494ක හිමිකාරීත්වයක්ද ඒ මහතා නමින් වෙන්ව පැවතුණි. ඒ අනුව මෙම කොටස් ප්‍රමාණය ජනශක්ති ලිමිටඩ් සමාගම සතු ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් ප්‍රමාණය නිරූපනය වන බවත් එම සමාගම සඳහන් කරයි.

රමේෂ් ෂාෆ්ටර් මහතා 2018 වසරේ අප්‍රේල් මාසයේදී ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය. ඊට පෙර අවස්ථාවකදීද ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිට පසුව ඉන් ඉවත්ව තිබේ.

මේ අතර පසුගිය සතියේදී රමේෂ් ෂාෆ්ටර් මහතා ජනශක්ති සමූහයට අයත් කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන්ද ඉවත් විය. ජනශක්ති සමූහයට අයත් සමාගම්හි ඉහළ කළමනාකාරීත්වයේ සිදුකරන ප්‍රතිව්‍යුහගත කිරිමක් යටතේ මෙලෙස රමේෂ් ෂාෆ්ටර් මහතා ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන්ද ඉවත්වන්නට ඇතැයි පැවසෙයි.

Visits: 191