DPL වෙත ISO 17025: 2017 හිමිවෙලාලු

අපනයන තත්ත්වයේ රබර් අත්ආවරණ ඇතුළු නිෂ්පාදන ඉදිරිපත් කරන හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් Dipped Products PLC (DPL) සමාගම වෙත රසායනික පරීක්ෂා කිරිම් සඳහා වන නවතම ISO තත්ත්ව සහතිකයක් හිමිව ඇතැයි පවසයි. අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතීතන මණ්ඩලය (SLAB)  මගින් මෙම සහතිකය පිරිනමා තිබේ.

මෙහිදී එම සමාගම යටතේ ක්‍රියාත්මක DL Kottawa පරීක්ෂණාගාරය වෙත පසුගියදා මෙලෙස ISO 17025 : 2017 ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතිකය හිමිව ඇති බවත්, ඒ හරහා එම පරීක්ෂණාගාරය ස්වාභාවික රබර් ලේටෙක්ස් රසායනිකව පරීක්ෂා කිරීම සඳහා වන එම සහතිකය දිනා ගත් ශ්‍රී ලංකාවේ පළමු පරීක්ෂණාගාරය බවටද එය පත්ව ඇතැයිද සඳහන් කරයි.

එසේම මෙම තත්ත්ව සහතිකය හිමිවීමත් සමගින්ම DPL සමාගම සිය අමුද්‍රව්‍ය, ලේටෙක්ස් නිෂ්පාදන සහ නිමි භාණ්ඩ යනාදී සියල්ල ජාත්‍යන්තර ප්‍රමිති සහතිකකරණය හිමිකරගත් පිළිගත් පරීක්ෂණාගාර හරහා සිදු කරන නිෂ්පාදකයෙකු බවට පත්ව ඇතැයිද එම සමාගම පවසයි.

අංක TL029-03 යටතේ වන මෙම ප්‍රමිති සහතිකය පසුගිය අගෝස්තු 11 වැනිදා පිරිනමා ඇති අතර, එය 2024 අගෝස්තු 10 වැනිදා දක්වා වලංගු වන බවත් අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතීතන මණ්ඩලය පවසයි.

මෙහිදී මෙම ජාත්‍යන්තර තත්ත්ව සහතිය ලබා ගැනීම සඳහා සිය සමාගමෙහි පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම දැක්වූ උත්සාහය සම්බන්ධයෙන් තමන් ආඩම්බරයට පත්වන බවත්, ලෝකය තුළ ඉහළ මට්ටමේ නිෂ්පාදන සිදු කරන සමාගමක් ලෙස ඉහළින් උසවා තැබීමට ඔවුන් සහාය දක්වන බවත් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම ISO 17025 තත්ත්ව සහතිකය හිමිවීමත් සමගින්ම සිය නිෂ්පාදනවල, ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල මෙන්ම නිමි භාණ්ඩවල ගුණාත්මක බව ආරක්ෂා කෙරෙන බවත් DPL සමාගම පවසයි.

ඒ හරහා සිය ගනුදෙනුකරුවන්ට වඩාත් ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දීමේ පොරොන්දුව ඉටු කළ හැකි බවත් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 449