හිල්ටන් හෝටලය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය හේලීස් සමූහයේ S&T Interiors වෙත

හේලීස් සමූහය සහ ඕමානයේ S&T සමාගම එක්ව පිහිටුවා ගත් S&T Interiors සමාගම වෙත කොළඹ හිල්ටන් හෝටලයේ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය හිමිව ඇතැයි පවසයි. හෝටල් කාමර 253ක් සමන්විත හෝටලය මෙලෙස අලුත්වැඩියාව සඳහා වැයවන මුදල රුපියල් බිලියන 1.94ක් ලෙස ගණන් බලා තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය නිමා කිරීම සඳහා මාස 15ක කාලයක් ගත වන බව සඳහන් වෙයි. එහිදී අදියර හතරක් යටතේ මෙම අලුත්වැඩියා කිරීම් සිදු කරන බවත්, හෝටලයේ අනෙකුත් මෙහෙයුම් වෙත බලපෑමක් එල්ල නොවන ආකාරයට එම කටයුතු සිදු කරන බවත් සමාගම පවසයි.

කොළඹ හිල්ටන් හෝටලය විවෘත කෙරුණු 1984 වසරෙන් පසුව එහි හෝටල් කාමර තුළ සිදු කරන ප්‍රධානතම අලුත්වැඩියාව මෙය ලෙසින්ද සැලකෙයි. ශ්‍රී ලංකාව තුළ ආගන්තුක සත්කාර ව්‍යාපාරයේ වඩාත් කැපී පෙනෙන හෝටලයක් ලෙසද කොළඹ හිල්ටන් හෝටලය නමක් දිනා තිබුණි. S&T Interiors මගින් සිදුකරන මෙම අලුත්වැඩියාවෙන් අනතුරුව හෝටලයේ ප්‍රමිතිය යළිත් වරක් ජාත්‍යන්තර ආගන්තුක සත්කාර ප්‍රමිතීන් දක්වා ඉහළ නැංවීම අරමුණ වී තිබේ.

S&T Interiors සමාගම පවසන ආකාරයට මෙම අලුත්වැඩියාකිරීම් 2022 වසරේ අවසන් භාගයේදී පමණ නිමා කිරීම සැලසුම වී ඇත. එහිදී සම්පූර්ණයෙන්ම නැවුම් සහ යාවත්කාලීන කළ පහසුකම්වලින් සමන්විත කාමර පහසුකමක් සංචාරකයන් වෙත ලබා දීමටත්, හිල්ටන් හෝටලයේ හිමි කරගෙන ඇති සුඛෝපභෝගී හෝටල් සන්නාමයට ගැලපෙන ලෙස එහි පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඉහළ නැංවීමත් සිදු කරන බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ වඩාත් සුවිශේෂී ගෘහඅභ්‍යන්තර අලංකරන සමාගමක්වන S&T Interiors සමාගම 2014 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ හේලීස් සමූහය සහ ඕමානයේ S&T සමාගම අතර ඇති කරගත් ඒකාබද්ධතාවක් අනුව පිහිටවුණු සමාගමකි. එහිදී හෝටල් සහ වාණිජ පරිශ්‍ර සඳහා වන අභ්‍යන්තර ඉදිකිරීම් සහ අලංකර කටයුතු සම්බන්ධයෙන් සමාගමෙහි මූලිකම අවධානය යොමුව ඇත.

කොළඹ හිල්ටන් හෝටලය අද වනවිට රජයට අයත් ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මකව පවතින්නකි. මහාභාණ්ඩාගාරයේ පූර්ණ හිමිකාරීත්වය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවා ඇති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමෙහි ලෙෂර් අංශය යටතේ ඇති කොළඹ නගරයේ පිහිටි හෝටල් ව්‍යාපාර තුන අතරටද හිල්ටන් හෝටලය ඇතුළත් වෙයි. කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සහ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය අනෙක් හෝටල් දෙක වෙයි. ‍

මෙම හෝටල් තුන එකතු කරමින් පිහිටුවෙන සෙලෙන්දිවා ලෙෂර් සමාගම ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිමටද සූදානමක් ඇතැයි රජය සඳහන් කර තිබේ.

Visits: 279