මුරලි ප්‍රකාශ් දංකොටුව පොසිලේන්හි සිය කොටස් සියල්ල විකුණා අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දංකොටුව පෝසිලේන් පීඑල්සී (DPL.N0000) සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මුරලි ප්‍රකාශ් මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම සමාගම පවසයි.

2021 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්විම සිදුව තිබේ. ඒ මහතා මෙතෙක් කලක් දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

මේ අතර මෙම ඉවත්විමට පෙරාතුව පසුගිය අගෝස්තු 30 වැනිදා ඒ මහතා දංකොටුව පෝසිලේන් පීඑල්සී සතුව තිබූ සිය කොටස් 101,000ක් අලෙවි කර ඇතැයිද එම සමාගම පවසයි. මෙය 2021 මාර්තු 31 වැනිදා වනවිට මුරලි ප්‍රකාශ් මහතා සතුව සමාගම තුළ තිබූ සමස්ත කොටස් ප්‍රමාණයද වෙයි.

මෙහිදී කොටසක් රුපියල් 14.50ක් බැගින් එම අලෙවිය සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 1‍,464,500 කි.

දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගම ඇම්බියොන් හෝල්ඩිංග්ස් සමූහයෙහි පූර්ණ අනුබද්ධිත පරිපාලන සමාගමකි.

ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී, රෝයල් ෆර්න්වුඩ් පෝර්සිලේන් ලිමිටඩ්, කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී, මිලේනියම් අයිටී, තැප්‍රොබේන් කැපිටල් ප්ලස්, තැප්‍රොබේන් ඉන්වෙස්ට්මන්ට්ස්, තැප්‍රොබේන් සෙකියුරිටීස් සහ සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් යන සමාගම් එම අනෙකුත් අනුබද්ධිත සමාගම් වෙයි.

මේ අතරින් ලැයිස්තුගත සමාගම් වන දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගමට අමතරව කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මුරලි ප්‍රකාශ් මහතා කටයුතු කළේය.

ඒ අනුව දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගමෙන් ඉල්ලා අස්වීමට සමගාමීව ඒ මහතා කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන්ද පසුගිය සැප්තැම්බර් 01 වැනිදා සිට ඉල්ලා අස් වී තිබේ.

එසේම ඒ මහතා ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ අතර, මේ වසරේ ජනවාරි 31 වැනිදා එම ධුරයෙන්ද ඉල්ලා අස්විය.

සමාගම් ක්ෂේත්‍රයේ මුල් පෙළේ කළමනාකරණ අංශයේ තනතුරුහි වසර 35කට අධික කාලයක අත්දැකීම් සහිත ඒ මහතා සමාගම් කිහිපයක් සඳහාම සිය දායකත්වය ලබා දී තිබේ. එහිදී ඇම්බියොන් සමූහය වෙත සම්බන්ධවීමට පෙර ඒ මහතා බ්‍රවුන්ස් ගෘප් ඔෆ් කම්පැනීස්හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. එසේම මීට පෙර ඒ් මහතා සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ අලෙවි අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇති අතර, සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී, සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සහ සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී යන සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත

මේ අතර, මුරලි ප්‍රකාශ් මහතා පසුගිය ජනවාරි මාසයේ සිට 2020/21 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙදුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.

අද වනවිට ඒ මහතා ලාෆ්ස් ගෑස් පීඑල්සී, ලාෆ්ස් පවර් පීඑල්සී , ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ්, ලාෆ්ස් එකෝ ශ්‍රී ලිමිටඩ් යන ලාෆ්ස් හෝල්ඩිංග්ස් වෙත අයත් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

Visits: 699