මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඉදිකිරීම් ආශ්‍රිත සමාගමක් වන කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර මහත්මිය පත් කර ඇතැයි එම සමාගම පවසයි.

ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම නව පත් කිරීම සිදු කර තිබේ. ඒ අනුව ඇය කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත්විම් ලැබ ඇතැයි සමාගම පවසයි.

මෙතෙක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ චන්දන ද සිල්වා මහතා අද දිනයේ සිට එම ධුරයෙන් ඉවත්වීමත් සමගින් හිස් වන ධුරය සඳහා මෙලෙස මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර මහත්මිය පත් කෙරී ඇත.

වරලත් ගෘහනිර්මාණශිල්පිනියක, වරලත් ප්‍රමාණ සමීක්ෂිකාවක සහ ව්‍යාපෘති කළමනාකාරිනියක වන මහාචාර්ය චිත්‍රා කොඩික්කාර මහත්මිය සතුව ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන්හිදීද ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වසර 30කට අධික අත්දැකීම් ඇතැයි සඳහන් වෙයි.

අද වනවිට ඇය Qserve group හි සභාපතිනිය ලෙසද කටයුතු කරයි. එම සමාගම ගොඩනැගිලි ඉදිකිරීමේදී පිරිවැය නිරීක්ෂණය සහ කළමනාකරණය පිළීබඳව උපදේශකත්වය ලබාදීම, කොන්ත්‍රාත්තු පරිපාලනය, ඉදිකිරීම් විගණනය සහ ව්‍යාපෘති කළමනාකරණය යනාදී සේවාවන් ලබා දෙයි.

Visits: 185