රමේශ් සහ දිනේෂ් ෂාෆ්ටර් කෙල්සි ඩිවලොප්මන්ට් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

ජනශක්ති සමූහය යටතේ ක්‍රියාත්මක කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ රමේෂ් ෂාෆ්ටර් සහ දිනේෂ් ෂාෆ්ටර් දෙපළ අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත්ව ඇතැයි පවසයි.

ජනශක්ති සමූහ සමාගමට අයත් සමාගම්වල කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත යටතේ මෙම ඉවත්වීම් සිදුව තිබෙන බව කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම පවසයි. මේ අතර ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනන්ද් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතාද පසුගියදා එම ධුරයෙන් ඉවත් විය.

කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම ඉවත්වීම් පිළීබඳව අනාවරණය කෙරී ඇත.

මෙම ඉවත්වීම්වලට අමතරව සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටි චන්දන ද සිල්වා මහතාද වසර 09ක අධ්‍යක්ෂ මණ්ඩල ධුරකාලයකින් අනතුරුව කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි සිය ධුරයෙන් ඉවත්ව තිබේ.

මෙලෙස ධුරවලින් ඉවත් වන රමේෂ් ෂාෆ්ටර්, චන්දන ද සිල්වා සහ දිනේෂ් ෂාෆ්ටර් යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සතුව කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි කොටස් 14,856‍,787ක හිමිකාරීත්වයක් පවතින බවත්, සමාගමේ මව් සමාගම වන ජනශක්ති ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ඔවුන්ට එම කොටස් හිමිකම ලැබී තිබෙන බවත් සමාගම පවසයි.

එසේම රමේෂ් ෂාෆ්ටර් මහතා ජනශක්ති ලිමිටඩ් සමාගමෙහි කොටස් හිමිකරුවෙකු වන බවත්, ඒ අනුව ඉහත සඳහන් කළ කොටස් ප්‍රමාණය ජනශක්ති ලිමිටඩ් සතුව කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම තුළ ඇති සමස්ත කොටස් ප්‍රමාණය නියෝජනය කරන බවත් කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 186