මෙවර ඇසල පෙරහැර අන්තර්ජාලය හරහා ලොව පුරා 16,000ක් දෙනා නරඹලා

පසුගියදා නිමාවට පත් වූ මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ සජීවී අන්තර්ජාල විකාශය ලොව පුරා ප්‍රේක්ෂකයන් 16,000 කට ආසන්න පිරිසක් නරඹා තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව මෙය වසංගත අවස්ථාවේදී තමන් විසින් ක්‍රියාත්මක කරන ලද අන්තර්ජාල ප්‍රවර්ධන උත්සාහයේ සාර්ථක අවස්ථාවක් බවද එම අධිකාරිය සඳහන් කර සිටියි.

මෙවර මහනුවර ඇසල පෙරහැර එකිනෙකට එකිනෙකට වෙනස් භාෂා හතක් ඔස්සේ සජීවීව අන්තර්ජාලය හරහා විකාශය කෙරිණි. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශය හා සහයෝගිතාවයෙන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ, තායිලන්ත, චීන, කාම්බෝජියානු මෙන්ම ජපාන භාෂාවලින් මෙම වැඩසහන විකාශය කෙරුණු බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙලෙස ආගමික සහ සංස්කෘතික අංග සජීවීව අන්තර්ජාලය හරහා විකාශය කිරීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අන්තර්ජාලය හරහා සිදු කරන ප්‍රවර්ධන වැඩසටහනේ අවස්ථාවක් ලෙස දියත් කර තිබෙන අතර, ඒ හරහා ඉලක්ක ගත ප්‍රේක්ෂකයන් වෙත ශ්‍රී ලංකාව මතයේ රඳවා තිබෙන ගමනාන්තයක් බවට පත් කර තැබීම අරමුණ වී තිබේ.

වසංගතයෙන් පසුව යළිත් දේශසීමා විවෘත කිරීමෙන් අනතුරුව සමස්ත සංචාරක කර්මාන්තයම වේගවත් යථාවක්වීමක් වෙත රැගෙන යාම වෙනුවෙන් මෙම කටයුතු සිදු කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පසුගිය 2020 වසරේදීද මෙලෙසින්ම මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කෙරුණු නමුත්, මෙවරදී එය පෙරට වඩා වැඩි සාර්ථකත්වයක් අත්කරගත් බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර තිබේ.

“2020 වසර ආදර්ශයට ගනිමින් මේ වසරේදීත් සුපුරුදු ලෙසම දළදා පෙරහැර සජීවීව අන්තර්ජාලය හරහා විකාශය කෙරුණා. පළමු අවස්ථාවෙන් ලැබුණු අත්දැකීම් නිසා 2021 පෙරට වඩා හොඳඳින් සිදුවුණා. ඒ හරහා වඩා වැඩි ගෝලීය ප්‍රේක්ෂකයන් පිරිසක් වෙත එය රැගෙන යාමටත්, වැඩි පිරිසක් ඊට සම්බන්ධකරගැනීමටත් හැකියාව ලැබුණා.” යනුවෙන් ඇය පවසා සිටියි.

Visits: 72