LOLC ශ්‍රී ලාංකික බහුජාතික සමාගමක් බවට පත් කිරීම ඉලක්කයලු

ශ්‍රී ලංකාවේ අංක එකේ සමාගම් සමූහය වන LOLC සමාගමේ මීළග ඉලක්කය වී ඇත්තේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) වෙත සේවා සම්පාදනය කෙරෙන ලොව විශාලතම බහු-මුදල්, බහු-භූගෝලීය සමාගම බවට පත්වීම සහ LOLC සමූහය ශ්‍රී ලාංකික බහුජාතික සමාගමක් බවට පත් කිරීම බව පවසයි.

LOLC සමූහය සිය මීළග මෙහෙයුම් ව්‍යාප්ත කිරිම ලෙස මධ්‍යම ආසියාව වෙත සහ නැගෙනහිර අප්‍රිකාව වෙත සිදු කරන ආයෝජනයන් සම්බන්ධයෙන් සිදු කළ අනාවරණයේදී මෙම කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව, දැනට සමාගම මගින් හඳුනාගෙන ඇති ආසියානු, අප්‍රිකානු සහ මධ්‍යම ආසියානු කලාපීය මෙහෙයුම් ව්‍යාප්තිය සිය ගෝලීය ව්‍යාප්තියේ උපායමාර්ගික අවස්ථාවක් බවත්, දැනටමත් එම සමූහය මගින් අත්හදා බලා ඇති සහ පරීක්ෂා කර බලා ඇති ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාර ආකෘතිය මේ සඳහා දායක වෙනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ සාර්ථක ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ආකෘතියෙන් අනතුරුව, LOLC සමූහය ගෝලීය ක්ෂූද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ක්‍රීඩා පිටිය වෙත අවතීර්ණ වූයේ 2007 වසරේදීය.

එහිදී එම සමාගම කාම්බෝජියාවේ PRASAC නම් ක්ෂුද්‍රමූල්‍ය සමාගමේ 18% ක කොටස් ප්‍රතිශතයක් ඩොලර් මිලියන 0.5කට මිලදී ගැනීම සිදු කෙරිණි. ඉන් වසර නවයකට පසුව සමාගම වෙත PRASAC සමාගමේ 70%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමටද එම සමුහයට හැකි විය.

අනතුරුව එම සමූහය LOLC Myanmar Microfinance Ltd ආරම්භ කරමින් මියන්මාරය තුළ සිය මෙහෙයුම් ඇරඹීය. වසර හයකට පසුව එය මියන්මාරයේ සිව්වැනි විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සපයන්නා බවට පත්ව තිබේ.

එසේම ඉන් අනතුරුව LOLC සමූහය මගින් සිදුකළ ඉන්දුනීසියානු, පිලිපීන සහ පාකිස්තාන ක්ෂුද්‍රමූල්‍ය ආයෝජනද අද වනවිට වාර්තාගත ප්‍රතිඵල සටහන් කරමින් සිටියි. එසේම එම රටවල වඩාත් ශක්තිමත් ක්ෂුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කළඹ සහ වත්කම් ගොඩනැගීමටත් සමාගම සමත්ව ඇත.

ඒ අනුව මෙම සාර්ථකත්වයත් සමගින්ම අප්‍රිකාව වෙත පිවිසුනු LOLC සමූහය අද වනවිට නයිජීරියාව සහ සැම්බියාව තුළ සිය මෙහෙයුම් සාර්ථකව පවත්වාගෙන යයි. එහි ඉදිරි පියවරක් ලෙස නැගෙනහිර අප්‍රිකාවේ මලාවි සහ ටැන්සානියාව වෙත ඉදිරියේදී සිය ආයෝජන සිදුකිරීමට සමූහය මෙලෙස සැලසුම් කර තිබේ.

මීට අමතරව ඉදිරියේදී ඉන්දියානු උප මහාද්වීපයේ රාජ්‍යයන් කිහිපයක් තුළද සිය ආයෝජන සිදු කිරිමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා වඩාත් සුදුසු රාජ්‍යයන් දැනටමත් හඳුනාගෙන ඇති බවත් සමූහය වැඩිදුරටත් පවසා සිටියි. මධ්‍යම ආසියාවේ රටක් ලෙස ටජිකිස්තානය ආයෝජනය සඳහා තෝරා ගෙන ඇත්තේ ඒ අනුවයි.

මෙලෙස LOLC සමූහයේ ගෝලීය ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වා ඇති එහි උප සභාපති ඉෂාර නානායක්කාර මහතා, “අපගේ ක්ෂුද්‍ර මූල්‍ය ආකෘතිය ගෝලීයව ව්‍යාප්ත කිරීම යනු අපගේ වාණිජ අභිලාශයන් සාක්ෂාත් කරගැනීමක් පමණක්ම නොවෙයි. ඒ අතරතුරදීම සමාජ පිරමීඩයේ පහළින්ම සිටින, සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතියට නොපෙනෙන මෙම ප්‍රජාවන් වෙත අවශ්‍ය ප්‍රතිලාභ තිරසාරව සහ වඩාත් සමාජ වගකීම් සහගත ආකාරයෙන් ලබාදීමත් එහි අරමුණක්.” යනුවෙන් පවසා තිබේ.

“ශ්‍රී ලංකාව, කාම්බොජියාව සහ මියන්මාරය තුළ අපි නිර්මාණය කර තිබෙන මෙම බලපෑම අපගේ ව්‍යාපාර ආදර්ශය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දේ පෙන්නුම් කරන බවට මම විශ්වාස කරනවා. මූල්‍ය අන්තර්ග්‍රහණය, කාන්තාවන් බලගැන්වීම සහ සමාජ ආර්ථික විෂමතා අවම කිරීම සහ එහි ප්‍රතිලාභ ලෙස ආර්ථික වෙනසක් ඇති කිරීම යන කාරණා හරහා සමාජයේ සිටින පිරිසගේ අවශ්‍යතාවයන් වෙත අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන දේ පෙනෙනවා.” ඔහු සඳහන් කරයි.

“මෙය තමයි ප්‍රජාව වෙත සමාජආර්ථික සංවර්ධනය ලගා කරමින් අපගේ සමූහය වෙත නිරන්තරයෙන්ම වාණිජමය සාර්ථකත්වයක් අත් පත් කරගැනීමේ යාන්ත්‍රණය. එයම තමයි අපි අපේ මේ ගෝලීය ව්‍යාප්ති ක්‍රමෝපායේදීත් පිටපත් කරන්නට හදන්නේ.” යනුවෙන්ද නානායක්කාර මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 1192