මරුටි සුසුකි නිෂ්පාදනවල මිල සැප්තැම්බර් සිට ඉහළ දමනවාලු

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි ඉන්දියා සමාගම සැප්තැම්බර් මාසයේ සිට සිය නිෂ්පාදන මාදිලිවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පවසයි.

සිය නිෂ්පාදන පිරිවැය අධිකවීම මෙම තීරණය සඳහා හේතුව බව මරුටි සුසුකි ඉන්දියා ලිමිටඩ් සමාගම සඳහන් කර තිබේ.

“පසුගිය වසර පුරාම සමාගමේ විවිධ අංශ තුළ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් සිදුව තිබීම හේතුවෙන් සමාගමේ මෝටර් රථ සඳහා වන වියදම ඉහළ ගොස් තිබෙනවා.” යනුවෙන් සමාගම පවසා සිටියි.

ඒ අනුව මෙම සිය අමතර පිරිවැය මෝටර් රථ මාදිලිවල මිල ඉහළ දමමින් පාරිභෝගිකයන් වෙත එය පැවරීම සිදු කරන බවද සමාගම සඳහන් කරයි.

“2021 සැප්තැම්බර් මාසයේ සිට සමාගමේ සියලුම මෝටර් රථ මාදිලි සඳහා මෙම මිල ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.” මරුටි සුසුකි ඉන්දියා සමාගම පවසයි.

අද වනවිට සමාගම Alto මාදිලියේ සිට S-CROSS දක්වා වන ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 2.99 සිට රුපියල් ලක්ෂ 12.39ක් දක්වා වූ මිල ගණන් යටතේ මෝටර් රථ මාදිලි වෙළෙඳ පොළට නිකුත් කරයි.

Visits: 615