“දිලිත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නෙමෙයි – වරුණිගේ සිත කය අසංවරයි“ – දිලිත් සහ වරුණි ගැන මිලින්ද කියයි

මෙරට ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරික දෙපළක් වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම සම්බන්ධයෙන් ඔවුන්ගේ සමීපතමයෙකු වන මිලින්ද රාජපක්ෂ විසින් ඊයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි. දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම යන නිර්මාණශීලී සාර්ථක ව්‍යාපාරිකයන් දෙපළ මෙතෙක් ආ සිය ගමන් මග වෙත දැක් වූ දායකත්වය ඔහු එහි සඳහන් කර තිබේ.

‘මිලා, මුළු ලෝකෙම නැති ලංකාවේ විතරක් ඉන්න මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා ‘කුහකයෝ’ කියල. කුහකයෝ කියන්නේ තමුන්ට කිසිම ප්‍රයෝජනයක් හෝ ලාබයක් නැතුව අනිත් එකාට කෙළවෙන එකෙන් සතුටු වෙන එවුන්’. එහෙම කිව්වේ දිලිත්.

ඊට පස්සේ මම ඇහුවා ‘දිලිත් උන්ට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ’ කියලා.

‘ඒක තමා මම කීවේ මුන් ඉන්නේ ලංකාවේ විතරයි කියල. ඉංග්‍රීසියෙන් ඒකට සමාන වෙන තේරුමක් නෑ’.

මගේ ජිවිත ගමනේදී ඉස්කෝලේදී, කැම්පස් එකේදී, රස්සාවේදී හෝ වෙන කිසිම තැනක දැකල නැති තරමේ කුහකයෝ මහා ගොඩක් අද ෆේස්බුක් සමාජයේදී හමුවෙනවා. වට්සැප් ගෘප් වලදී මුණ ගැහෙනවා.

“මචන් දිලිත්ට කෙලිනවා නේද, ඒයි මහින්ද මහත්තයට අසනීපයි නේද? බ්‍රෝ කොවිඩ් හොදටම වැඩියි ගෝඨාභය ලොක්කට කෙස් නේද? වගේ ආදරණිය ලෙස දුක සැප බලන බොහොමයක් එවුන් ‘තමුන්ට ලාභයක් නැතත් අනිත් එකාට කෙලවෙනවා වගේනම් පුංචි සතුටක් හිතට එන සත්ව කොට්ඨාශය” මගේ සිහියට නංවනවා.

2015 ජනවාරි 08 වෙනිදා තරුණ සේවා සභාවේ රස්සාව නැතිවෙලා ගෙදර ගිහින් මම තුන් හතර දෙනෙකුට මැසේජ් දැම්මා හමුවෙලා කතාකරන්න කැමතියි කියලා. එතකොට වරුණි අමුණුගම මට මයේ ජිවිතේ එකම එක පාරක් හමුවෙලා තිබ්බා තරුණ සේවා සභාවේ තරුණ දිස්ත්‍රික්ක නායකයන් එක්ක සහජීවනයට අදාළ කැම්පේන් එකක ෂූටින් එකක් කරන්න ඇවිත්. මම එයාටත් මැසේජ් එකක් දැම්මා ජෝර්ජ් ස්ටුවර්ට් කොම්පැණියේ රස්සාවක් හිතේ තියාගෙන. මම වරුණි හම්බවෙන්න Triad එකට ආවා. ලෝක තරුණ සමුළුව නිසා එතන හිටපු ගොඩක් අයව මට හම්බවෙලා තිබුනා.

ඒ හම්බවෙන්න ආපු ගමන මම එතැන නතර වුනා. එතැනදී තමයි මට කොලබ නාගරිකය සම්මුඛ වුනේ. මං ඇතුලේ හිටපු ගැමියාව හමුවුනේ. පොත් දෙකක් ලියල Triad එකේ එවුන්ගේ උදව්වෙන්ම පළකරපු මං තුල හිටපු ලේඛකයාව හම්බවුනේ. කොලබ මහනගර සභාවට චන්දෙ ඉල්ලපු මං ඇතුලේ හිටපු දේශපාලන සත්වයා එලියටම බැස්සේ. 2020 දී අපි ආයෙත් චන්දෙ දිනුවා. මං එලියට බැස්සා. ඒ හිටපු අවුරුදු පහට මං අවුරුදු විස්සකින් ලොකු මිනිහෙක් වුනා.

දිලිත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නෙමෙයි. මිනිස්සු 3000 කට වඩා රස්සාවල් දීල තිබ්බට, කොච්චර අමාරුකම් තිබ්බත් එක දවසකින් මුළු පඩියම පරක්කු නොකලට, හැම අවුරුද්දෙම අනිවාර්යයෙන්ම බෝනස් දුන්නට (අලාභ ලබන කොම්පැනි වල එවුන්ටත් ලාභ ලබපු කොම්පැනි වලින් සල්ලි අරන් දෙන්නේ), ලංකාවේ ලොකුම brands ටිකක් හැදුවට, දිලිත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නෙමෙයි. දිලිත් එක්ක හිටපු අවුරුදු පහෙන් මම තේරුම් ගත්ත ලොකුම පාඩම තමා දිලිත්ට ඕනෑ සාර්ථක මිනිහෙක් වෙන්න මිසක් සාර්ථක ව්‍යාපාරිකයෙක් විතරක් වෙන්න නෙමෙයි කියලා. ඇත්තටම තමුන් සාර්ථක මිනිහෙක් වෙනවටත් වඩා වටේ පිටේ අහල පහල ගමේ ගාල්ලේ ඉස්කෝලේ ඔෆිස් වල ඉන්න සේරම එවුන් සාර්ථක මිනිස්සු මිනිස්සු වෙන එක තමා දිලිත්ගේ ‘ආතල්’ එක. තමුන්ට ටිකක් පාඩු වුනත්, කෙල වුනත්, උනුත් ගොඩ යනවනම් ඒකෙනුත් ටිකක් සතුටු වෙන්න. කුහක එවුන්ගේ අනෙකා වෙන්න.

දවසක් අපි කරටි කැඩෙන්න ගහල ඉද්දී දිලිත්ගේ ලගම යාලුවෙක් වගේ එකෙක් කීවා, ‘දිලිත් අපේ ගෑණි හැම වෙලේම බනිනවා බන් ඇයි මට උබ වගේ පිළිවෙලකට බිස්නස් වැඩ කරන්න බැරි කියලා. කණක් ඇහෙන්න නැති තැන මං කීවා ඕකුන් ඔය කුඩු විකුණනවද කොහෙද කියලා’. මං වෙරි හිදිලා දිලිත් දිහා බැලුවා. දිලිත් උගෙන් ඇහුවා ‘දැන් ගෙදර කරදරේ ශේප්ද’ කියලා. මෑන් කීවා ‘සොරි මචන් හැබැයි ඒ බොරුව වැඩ කළා’ කියල. දිලිත් පොරට ෂොට් එකක් වක්කරල කීවා ‘උබේ කරදරේ ඉවරනම් අපිටත් ආතල් මචන්, උබ හදපු කරදරේ දැන් අපිම විසගන්නම්, නැද්ද මිලා’ කියල.

මගේ පලවෙනි පොතේ පලවෙනි පිළිගැන්වීම කලේ වරුණිට. ඒකෙ මම මෙහෙම ලීවා ‘සිත කය වචනය අසංවරී – වරුනී’ කියල. මේ රටේ නුතන සන්නිවේදන කලාවේ පුහු ඉහළ නාගරික සංවරත්වය කීතු කීතු වලට ඉරලා, ගමේ ගොඩේ බයියන්ගේ නිර්මාණශිලිත්වය මහා ලාංකික සමාජයට ගැලපවීමේ අසංවරකාරී වැඩේ කලේ වරුණි. මම triad එකේ වැඩට ගිහින් තටම තටම ඉංග්‍රීසියෙන් ප්‍රසන්ටේෂන් කරද්දී වරුණි පණිවිඩයක් එව්වා ‘බය නැතුව හිතට එන එව්වා සිංහලෙන් කියපං මිලා’ කියල. දිලිතුයි වරුනියි ගාව වැඩකරන 3000 ටම ඒ හයිය දීල තියෙනවා. ඒකයි මේ ගහන ගල් වලට උන් හිනාවෙන්නේ.

Triad එක ගෑණු චන්ඩි වෙච්ච තැනක්. ගෑණු තනියම වැඩකරන, රෑට පාටිදාන, මේස උඩ නැගල නටන තැනක්. දිලිත්/වරුණි සුසංයෝගයේ තිබුණ වැදගත්ම ලක්ෂණයක් තමා කොම්පැණි ඇතුලේ ගෑණුන්ට තිබුන බලගැන්වීම, තමුන්ගේ සිහින හොයාගෙන යන්න දුන්න තල්ලුව. Triad එකේ වැඩකරපු හැම කෙල්ලෙක්ම සාක්ෂි දරණ මහා පොදු සාධකය තමා , උන්ට උන්ගේ හයිය හොයාගන්න මේ ඔෆිස් එකේ උප සංස්කෘතිය ඉඩ හදල දුන්න විත්තිය.

කොලබ හිච්චි කෙල්ලෝ ට්විටර් එකේ වරුණිට ගහද්දි මම කීවා උන්ට උත්තර දෙන්න එපා කියලා. හැබැයි වරුනිගේ අදහස වෙලා තිබ්බේ, නෑ අපි උන්ට අනුකම්පා කරලා ඇත්ත කියමු කියන එක. වරුනිලා කැලේ කොටලා වල් උදුරලා හදපු නිදහස් පාර දිගේ ඇවිදන් ඇවිත් කාන්තා අයිතිවාසිකම් ගැන වරුනිලගෙන්ම ප්‍රශ්න අහන ලැමිස්සියන්ට, මොන උත්තරද?

ගොඨා ට ගහන්න ඕනා නිසා දිලිත්ට ගහනවා කියන එක ජනප්‍රිය උත්තරයක්. හැබැයි මගේ අදහසනම් කිසිදු බාහිර සාධකයක් නැතත්, ගමේ ඉපදිලා , ටවුමේ ඉස්කෝලේ ගිහින්, බස් එකේ කොලබ කැම්පස් එකට ඇවිත් තමුන්ගේ හයියෙන් ව්‍යවසායකයෙක් වෙලා, ජාත්‍යන්තර සන්නාම එක්ක හැප්පිලා, ධනවාදී දේශපාලනය එක්ක හැප්පිලා, දෙතුන්දාහකට රස්සා දීලා, ඇත්ත කියලා, තනියම වාහනේ ගිහිල්ලා, අපි බොන අරක්කුම බීවාම, ගුටි කන්න වෙනවා තමයි. මඩ කන්න වෙනවා තමයි. තව චුට්ටක් පඩ ෂෝ එකෙන් රැගුවානම්, සාර්ථක මිනිහෙක් වෙනුවෙට සාර්ථක ව්‍යාපාරිකයෙක් විතරක් වුනානම්, කොලබ එවුන් හොරා කියන්නේ නෑ.

අවුරුද්ද අන්තිමේ නත්තලට ඔෆිස් වහන්න කලින් දිලිත් කතාවක් කරනවා. ලාබ ලැබුවත් පාඩු ලැබුවත් එකම සුභවාදී ටෝන් එකෙන් ඒ කතාව කරනවා. ඔෆිස් එකේ වැඩ කරන උන්ට, නොකර උන්ට, අසනීප නිසා නිකන් ඉන්න උන්ට, කාලයක් ඉදල මැරිලා ගිහිල්ලානම් ඒ අයගේ පවුල්වලටත් පඩි ගෙවලා, හැම අවුරුද්දෙම ඒ කතාව කරනවා.

දවසක් දිලිත් මෙහෙම කීවා ‘අපි ලෝ ෆැකල්ටියේ බීවේ ගල්. පට්ට ආතල්. දැන් උබලා මහන්සිවෙලා වැඩකරන නිසා මට හම්බවෙන ලොකු පඩියෙන් හිල්ටන් එකේ ග්‍රීන් ලේබල් බොන්නත් පුළුවන්. හැබැයි ආතල් තියෙන්නේ Brand එකේ නෙමෙයි, අපේ හිතේ. අපි වටේ ඉන්න මිනිස්සුන්ගේ ආතල් එකේ. අපි සේරමලා ගොඩයන එකේ. ආතල් එක තියෙන්නේ අපේ ගමනාන්තයක තියෙන සතුටේ නෙමෙයි. අන්න ඒ සතුට හොයාගෙන යන ගමනේ, නැද්ද සර්ව’

මගේ නගර සභා චන්දෙට කැම්පේන් තීම් එක විදියට දිලිත් ලියල දුන්නේ ‘ඔබ දිනවන කොලබ ගමන’ කියල. දිලිත්, මේ සාර්ථක මිනිස්සු හදන්න මහන්සිවෙන ‘ගමන’ බොහොමයක් අසාර්ථක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මොකද තනියෙන් සාර්ථක වෙලා තනියෙන් ආතල් එකේ ඉන්නවාට වඩා හැමෝම සාර්ථක වෙන එකෙන් අපේ ආතල් කැඩෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙන විත්තිය බොහොමයක් ආතල් කැඩිච්ච අයට නොතේරෙන නිසා.

Visits: 1131