ඉදිරි වසර කිහිපයේදී MD නිෂ්පාදන අපනයන ඉහළ නංවනවාලු

ජනප්‍රිය MD වෙළෙඳ නාමය යටතේ සිදු කරන නිෂ්පාදනයන්හි අපනයන ධාරිතාව ඉදිරි වසර කිහිපයේදී ඉහළ නැංවීම අරමුණ බව ලංකා කැනරීස් පෞද්ගලික සමාගම පවසයි.

අද වනවිට එම සමාගමේ සමස්ත නිෂ්පාදනයෙන් 16%ක් පමණක් යුරෝපය, උතුරු අමෙරිකාව, මැදපෙරදිග මෙන්ම ආසියා පැසිපික් යන කලාපයන් වෙත අපනයනය කරයි.

ලංකා කැනරීස් පෞද්ගලික සමාගමෙහි 81.78%ක කොටස් හිමිකාරීත්වය සහිත හන්ටර්ස් පීඑල්සී සමාගම 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන සිය වාර්ෂික වාර්තාව තුළ මෙම කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම අපනයන ඉහළ නැංවීම හරහා රටෙහි අපනයන පරිශ්‍රමය වෙත ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීම බලාපොරොත්තුව බවත් ලංකා කැනරීස් පෞද්ගලික සමාගම සඳහන් කරයි.

මෙහිදී ජනප්‍රිය MD වෙළෙඳ නාමයෙන් යුත් නිෂ්පාදවල ගුණාත්මක බව, විවිධාංගීකරණය, පෝෂණය මෙන්ම රසය ඉහළ නැංවීම සඳහා තවදුරටත් කටයුතු කරන බවත් සමාගම පවසයි.

“ලංකා කැනරීස් සමාගමට අයත් කර්මාන්තශාලා සූර්ය බලශක්තිය වෙත පරිවර්තනය කරමින් එහි බලශක්ති කාර්යක්ෂමතාව වර්ධනය සඳහා ආයෝජන සිදු කිරීමටත් සමාගම කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම නිෂ්පාදන කාර්යයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය නවීනතම යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ මෙන්ම වඩාත් හොඳ තොරතුරු පද්ධතියක් පිහිටුවීමටත් කටයුතු යොදනවා” යනුවෙන්ද සමාගම පවසයි.

මෙලෙස ජනප්‍රිය MD සන්නාමය යටතේ නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලා දෙකක් ලංකා කැනරීස් පෞද්ගලික සමාගම වෙත හිමිය. ඒ අතරින් එක් කර්මාන්තශාලාවක් කොළඹ 05 ප්‍රදේශයේ පිහිටා ඇති අතර, අනෙක් කර්මාන්තශාලාව අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා තිබේ.

මේ අතර සිය නිෂ්පාදන ජාත්‍යන්තර ගුණාත්මක ප්‍රමිතීන් වෙත අනුගතවීම වෙනුවෙන් ගෙවුණු වසර කිහිපයේදී මෙම සිය කර්මාන්තශාලා පරිශ්‍ර යාවත්කාලීන කිරීමකට ලක් කළ බවත් සමාගම පවසයි. 2021 මාර්තු 31 වැනිදා අවසන් වනවිට ලංකා කැනරීස් සමාගමෙහි සේවයේ නිරත සමස්ත සේවක සංඛ්‍යාව 813 කි.

Visits: 256