LOLC සිය ආයෝජන මධ්‍යම ආසියාවට සහ නැගෙනහිර අප්‍රිකාවට ව්‍යාප්ත කිරීමට යයි

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පහසුකම් සම්පාදනයේ නිරත මුල් පෙළේ මූල්‍ය සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඉදිරියේදී මධ්‍යම ආසියාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ රටවල් තුනක් වෙත සිය ආයෝජන ව්‍යාප්ත කරන බව පවසා සිටියි.

ඒ අනුව මධ්‍යම ආසියාවේ ටජිකිස්තානය සහ නැගෙනහිර අප්‍රිකාවේ මලාවි සහ ටැන්සානියාව යන රාජ්‍යයන් තුළ මෙලෙස සිය ආයෝජන සිදු කිරිමට සැලසුම් කර ඇතැයි LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ඊයේ නිවේදනයක් මගින් අනාවරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම ආයෝජනයන්ගේ වටිනාකම පිළිබඳව මෙතෙක් අනාවරණයකෙරී නැත.

මෙහිදී ටජිකිස්තානයේ සිදුකරන ආයෝජනය මධ්‍යම ආසියානු කලාපය තුළ එම සමාගම සිදු කරන මංගල ආයෝජනය ලෙසින්ද සැලකෙයි. මෙහිදී එම සමාගම මගින් ටජිකිස්තානයේ ක්‍රියාත්මක මූල්‍ය සමාගමක් වන Karat නම් සමාගමේ 75%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීම හරහා මෙම ආයෝජනයට පිවිසීමට නියමිතව ඇත. මෙම සමාගම එරට තුළ ක්ෂුද්‍ර ණය සැපයීම් සහ රන් ණය ව්‍යාපාරය තුළ බලපත්‍රලාභී සමාගමකි.

අද වනවිට ටජිකිස්තානයේ ජනගහනය මිලියන 9.5කට අධික වන අතර එරට ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදනය එක්සත් ජනපද ඩොලර් 859කට පහළය. විශේෂයෙන්ම LOLC සමාගම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමේදී ඉහළ විභවතාවක් එරට තුළ ඇතැයි සමාගම පවසයි.

ඒ අනුව මෙම වසර අවසානයේදී Karat සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම බලාපොරොත්තු වන බවත් මෙම නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ අතර අප්‍රිකානු මහාද්වීපයේ නයිජීරියාව සහ සැම්බියාව තුළ සාර්ථක ලෙස සිය ක්ෂුද්‍ර මූල්‍ය මෙහෙයුම් සිදු කරමින් සිටින LOLC සමූහය ඉදිරියේදී එම මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි මලාවි සහ ටැන්සානියාව තුළත් සිය මෙහෙයුම් ආරම්භ කරන බවත් පවසයි. එහිදී එම රටවල පිහිටි ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් අත්පත් කරගනිමින් මෙම පියවරට යොමුවීම අදහස වී ඇත.

මේ අතරින් මලාවි රාජ්‍යයේ Express Credit Ltd සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමටත් ටැන්සියානාවේ පිහිටි Tujienge Tanzania Ltd සමාගමේ 96%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත්කර ගැනීමටත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී කටයුතු යොදා ඇත.

අද වනවිට මලාවි රාජ්‍යයේ ජනගහනය මිලියන 19කට අධික වන අතර එරට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 625කට වඩා අඩුය. ටැන්සානියාවේ ජනගහනය මිලියන 58කට අධික වන අතර එරට ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 1,077කි.

ඒ අනුව මෙම රාජ්‍යයන් දෙක තුළම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවස්ථාවන් සඳහා ඉහළ වෙළෙඳ පොළක් පවතින බවත්, ඒ හරහා සිය සමූහයේ වර්ධනයට සහ දිගුකාලීන වටිනාම් නිර්මාණය සඳහා දායක කරගත හැකි බවත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

Visits: 413