යුනිලිවර් ශ්‍රී ලංකා හි Ceytea තේ කර්මාන්තශාලාව රු.මි. 2ක අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

ආගරපතන පිහිටි යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට අයත් Ceytea තේ කර්මාන්තශාලාව මඟින් පසුගියදා නුවරඑළිය කලාපයේ වෛද්‍ය සේවා ආයතනයන් වෙත රුපියල් මිලියන 2ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කරන ලද බව පවසයි.

එම උපකරණ ප්‍රදානය කරනු ලැබූ ආයතන අතරට මේ වන විටත් පවතින වසංගත තත්වයට එරෙහිව කටයුතු කරමින් සිටින නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ආගරපතන ප්‍රාදේශීය රෝහල, ලිඳුල ප්‍රාදේශීය රෝහල සහ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය අයත් වේ.

එම වෛද්‍ය ආයතන සියල්ලම ප්‍රදේශයේ දහස් ගණනක ජනතාව වෙත ප්‍රතිකාර කිරීමේ වගකීම දැරුවද ඇතැම් අත්‍යවශ්‍ය රෝග විනිශ්චය තාක්ෂණ සහ එදිනෙදා පුද්ගලික ආරක්ෂක උපකරණ හිඟයක් ඔවුන්ට ඇත.

මෙම අවශ්‍යතාව මනාව අවබෝධ කරගත් Ceytea තේ කර්මාන්තශාලාව මඟින් එම රෝහල්වලට අවශ්‍ය පී සීර් ආර් පරීක්ෂණ සඳහා යොදා ගන්නා (Centrifuge) යන්ත්‍රයක්, ජෙනරේටරයක්, (Suction) යන්ත්‍රයක්, අපද්‍රව්‍ය බහාලුම්, KN 95 මුව ආවරණ, ශල්‍ය මුව ආවරණ, මුව ආවරණ ඵලක, බූට්ස්, ඇඳ කවර සහ උණුසුම් කාරක ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි සැපයුම් දාම අධ්‍යක්ෂ ජෙරාඩ් ඉරුදයරාජ් මහතා “මීට වසර 60කට පමණ Ceytea කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කළ දා පටන් ප්‍රජා සංවර්ධන වැඩසටහන් හරහා නුවරඑළිය ප්‍රදේශයේ ජනතාව සමඟ ශක්තිමත් හා තිරසාර බැඳීමක් ගොඩනගා ගැනමට අපි සමත් වුණා. අද දවසේ රටක් ලෙස අප සියලු දෙනා වසංගතයට එරෙහිව සටනක යෙදී සිටින බැවින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ඔවුන් වෙත ලබා දීම අපගේ යුතුකමක් බව අපි තරයේ විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි Ceytea තේ කර්මාන්තශාලාවේ කළමනාකාරිණී අනූෂා කොතලාවල මහත්මිය සඳහන් කර සිටියේ “අපට ආධාර කිරීමේ අවස්ථාවක් උදා වූ විට අපට කළ හැකි ඕනෑම ආකාරයේ සහයෝගයක් ලබා දීමට අපි කටයුතු කළා. නුවරඑළිය කලාපයේ ජීවත් වන අපගේ සෙසු රට වැසියන් වෙත සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබඳ අපි සතුටට පත්වන අතර අප ලබා දුන් දායකත්වය තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකබව තව දුුරටත් ශක්තිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම පරිත්‍යාගයන් පිළිබඳව අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්. ආර්. එම්. මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා “මෙම COVID-19 වසංගත තත්වය තුළ අපගේ රෝහල වෙනුවෙන් නොමසුරු ආධාර උපකාර ලබාදීම පිළිබඳව යුනිලිවර් ආයතනයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. මේ කාලය තුළ පරිත්‍යාගය කරනු ලබන සියලු දේ අපට ඉතාමත් වැදගත් වන අතරම අපගේ රෝගීන්ට මෙන්ම ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් වෙත උපරිම සේවාවක් ලබා දීම සඳහා ඒ සියලු පරිත්‍යාගයන් ඵලදායී ආකාරයෙන් භාවිත කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

Visits: 56