තාක්ෂණික ගැටලු මැද දර්ශක අගයන් ඍණ වුවත් ඉහළ ආයෝජක සහභාගිත්වයක් සහ පිරිවැටුමක්

අද (අගෝස්තු 30) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුව පෙර දිනයට සාපේක්ෂව යම් පසුබැසීමක් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම රට තුළ ඉහළ යන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම රටෙහි විදෙස් මුදල් සංචිත වර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලෙහි පසුගාමී බව යනාදී කාරණා ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ ඉපැයීම් දක්වා තල්ලු කර තිබේ.

මේ අතර දිනය ගනුදෙනු ආරම්භයේ සිට පැය කිහිපයක් යන තුරුම පැවැති තාක්ෂණික දෝෂය නිසා ආයෝජකයන්ට බලාපොරොත්තු වූ ආකාරයෙන් සිය ගනුදෙනු සිදු කළ නොහැකි විය. කෙසේ වෙතත් අද දිනයේදීද වෙළෙඳ පොළ තුළ ඉතා ඉහළ පිරිවැටුමක් සහ ඉහළ මට්ටමේ ආයෝජක සහභාගිත්වයක් දැකගත හැකි වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,858.82ත් ඒකක 9,126.02ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,894.44ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (අගෝස්තු 27) දිනයට සාපේක්ෂව ඒකක 36.89ක් එනම් +0.41%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සණස සංවර්ධන බැංකුව සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වල සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 58ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 144ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+30.7), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+28.8), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+11.0), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+6.38), වැලිබල් වන් පීඑල්සී VONE (+1.8), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-29.6), හේලීස් පීඑල්සී HAYL (-7.2), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-6.2), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-5.8), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-5.7යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,310.37ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (අගෝස්තු 27දා) ‍ට සාපේක්ෂව ඒකක 34.88ක එනම් -1.04%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12.85ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (අගෝස්තු 27දා) වාර්තා කළ රුපියල් බිලියන 16.48ට සාපේක්ෂව 22% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.96ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 33.87%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 95.32ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 223.25ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 127.93කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.96ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.37 කි. එසේම වැලිබල් වන් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 46.65ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 4,984 සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 39%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන  අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,120ක සහ රුපියල් මිලියන 1,818ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 278