IOC සිය තෙල් පිරිපහදු ධාරිතාව පුළුල් කිරීමට ඉන්දීය රු. ට්‍රිලිනයකයක් ආයෝජනය කරනවාලු

ඉන්දියාවේ ප්‍රධානතම ඉන්ධන සමාගම වන ඉන්දියානු ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන පිරිපහදු ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඉදිරි වසර හතරත් – පහත් අතර කාලයේදී ඉන්දියානු රුපියල් ට්‍රිලියනයක මුදලක් ආයෝජනය කිරිමට සූදානමින් සිටින බව පවසයි.

පසුගියදා පැවැති ඉන්දියානු ඔයිල් සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි සභාපති ශ්‍රීකාන්ත් මාධව් වයිද්‍යා විසින් මේ පිළිබඳව එම සමාගමේ කොටස්හිමිකරුවන් හමුවේ අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම නුදුරු අනාගතයේදී ඉහළ යන ඉන්ධන ඉල්ලුමට සරිලන ලෙස මෙම ධාරිතාව ඉහළ නංවන බව ඔහු පවසා ඇත.

ඔහු පවසා ඇති ආකාරයට අද වනවිට ඉන්දියාවේ වැඩියෙන්ම භාවිතා කෙරෙන ඉන්ධන වන ඩීසල් මෙන්ම පැට්‍රල්ද ඉල්ලුම මේවනවිට කොවිඩ-19 වසංගතයට පෙර පැවැති මට්ටමට ආපසු ළගාවිමක් සිදුව තිබේ. එසේම ලබන දීවාලි උත්සව සමයවෙද්දී මෙම ඉල්ලුම යළිත් සාමාන්‍ය මට්ටමට පත්වෙනු ඇතැයි ඔහු අපේක්ෂා කර තිබේ.

“ආයතන කිහිපයක් විසින්ම සිදු කර තිබෙන පුරෝකතනවලට අනුව ඉන්දියාවේ ඉන්ධන ඉල්ලුම වසර 2040 වන විට අද පවතින ටොන් මිලියන 250 ඉදන් මිලියන 400ත් 500ත් අතර අගයකට ඉහළ යාවි. මෙම අවස්ථාව දැනට ව්‍යාපාරයේ නිරත සමාගම් වෙත තමන්ගේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට හොඳ අවස්ථාවක් උදා කර දී තිබෙනවා.” යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී පවසා තිබේ.

මේ අතර ඉදිරියේදී ඇති වන ඉල්ලුමට සරිලන ලෙස ඉන්දියානු ඔයිල් සමාගම සිය නව නිෂ්පාදන කිහිපයක්ම ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදා ඇතැයි පවසයි. “මේ තත්ත්වයත් සමගින්ම වාර්ෂිකව සිදු කරන බොරතෙල් පිරිපහදු ධාරිතාවත් මෙට්‍රික් ටොන් මිලියන 26කින් පුළුල් කිරීමේ අවස්ථාවක් පවතිනවා. ඒ අනුව අපගේ පරිපාලිත සමාගමක් වන CPCL (චෙන්නායි පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ්) සමගින් එක්ව ඉදිරි වසර 4 සහ 5 දී ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂයක් (ඉන්දියානු රුපියල් මිලියනයක්) ආයෝජනය කරනවා.” සභාපතිවරයා සඳහන් කර තිබේ.

අද වනවිට ඉන්දියානු ඔයිල් සමාගම බොරතෙල් පෙට්‍රල් සහ ඩීසල් බවට පරිවර්තනය කරන පිරිපහදු ස්ථාන 11ක් පවත්වාගෙන යයි. මේ සියල්ල මගින්ම වාර්ෂිකව බොරතෙල් ටොන් මිලියන 81.2ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව මෙම සැලසුම යටතේ ගුජරාටයේ පිහිටි කොයාලි පිරිපහදුව තුළ දැනට පවතින ටොන් මිලියන 13.7ක ධාරිතාව ටොන් මිලියන 18ක් දක්වා වර්ධනය කිරිමටත්, හර්යානා ප්‍රාන්තයේ පිහිටි පානිපාට්හි පිරිපහදුවේ ධාරිතාව ටොන් මිලියන 15 සිට ටොන් මිලියන 25දක්වා වර්ධනයත් සිදු කරන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එසේම මෙම සැලසුම් යටතේ චෙන්නායි පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ් හා එක්ව ගුහාවති සහ බාරුනායිහිදීද පිරිපහදු දෙකක් අලුතින් පිහිටුවීම සිදු කරන බවත් ඉන්දියානු ඔයිල් සමාගම පවසයි.

ඒ අනුව මෙම ධාරිතාව පුළුල් කිරීමත් සමගින්ම ඉන්දියානු ඔයිල් සමාගමේ සමස්ත පිරිපහදු ධාරිතාව ටොන් මිලියන 106.7ක් දක්වා ඉහළ යන බවත් සමාගම සඳහන් කර සිටියි.

Visits: 338