“වරාය – ගුවන් තොටුපොළ වැසුවොත් විරෝධතා අරඹනවා” – රයිගම් අධිපති රවී ලියනගේ

කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා බව පවසමින් වරාය, ගුවන් තොටුපොළ, ඇගලුම් කර්මාන්තශාලා ඇතුළු අනෙකුත් කර්මාන්තශාලා වසා දැමීමට ඇතැම් වෘත්තීය සමිති නායකයන් සිදුකරන ඉල්ලීම් තරයේ හෙළා දකින බව රයිගම් සමූහ ව්‍යපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ මහතා පවසයි.

මව්බිම ඉරිදා පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

ඒ අනුව මෙම ඉල්ලීම් අනුව යමින් වරායන් සහ කටුනායක ගුවන් තොටුපොළේ භාණ්ඩ සේවා අංශය, ඇගලුම් කර්මාන්තශාලා වසා දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව පෞද්ගලික අංශයේ මහා වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට සියලුම දෙනා සහයෝගය ලබා දිය යුතුබවත, එම නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑමට ක්‍රියා කළ යුතු බවත් ආචාර්ය රවී ලියනගේ මහතා පෙන්වා දී තිබේ.

නමුත් රට නියම ආකාරයට වසා දමා නොමැති බව පවසමින් වෘත්තීය සමිති නායකයන් සිදු කරන මෙම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම ඉල්ලීම් ඉටුකිරිමට රජය ක්‍රියා කළහොත් ඊට එරෙහිව දේශීය ව්‍යවසායකයන් ඇතුළු කර්මාන්තකරුවන් රැසක් පෙළ ගැසී සිටින බව ඒ මහතා සඳහන් කර ඇත.

මෙහිදී සියලුම සෞඛ්‍ය උපදෙස් අනුව වරාය ඇතුළු ආර්ථික මර්මස්ථානවල කටයුතු පවත්වාගෙන යා හැකි බව පවසා ඇති ලියනගේ මහතා, වරාය සතියක් හෝ සති දෙකක් වසා දැමුවහොත් අමුද්‍රව්‍ය ගෙන්වීම, කන්ටේනර් නිදහස් කරගැනිම ආදී කටයුතුවලට බාධා සිදු වී ඇතැම් විට මෙරට ඇතැම් කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක්ද මතුවන බවත් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙය පෞද්ගලික අංශයේ බොහෝ පිරිසකගේ රැකියා අවස්ථාවලටද ගැටලු ඇතිවිය හැකිය යන්න ඒ මහතා පුවත්පත වෙත පවසා ඇත.

Visits: 486