ලක්ෂ 12ක වාර්ෂික රේඩියල් ටයර් අවශ්‍යතාවයෙන් අඩක් සැපිරීමට CEAT සූදානම්ලු

මෙරට තුළ ලක්ෂ 12ක් පමණ වන වාර්ෂික ඇස්තමේන්තුගත ටයර් වෙළෙඳ පොළ අවශ්‍යතාවයෙන් ටයර් ලක්ෂ 6ක් සම්පූර්ණ කිරීමට CEAT වෙළෙඳ නාමයට හැකි බව කැලනි ටයර්ස් පීඑල්සී සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා පවසයි.

2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඊයේ (27දා) නිකුත් කෙරුණු සමාගමේ වාර්ෂික වාර්තාව වෙත සටහනක් තබමින් සභාපතිවරයා මේ බව පවසා තිබේ.

“ගණන් බැලීමට ලක්ව තිබෙන මෙම මූල්‍ය වර්ෂය තුළදී සියැට් කැලනි ඒකාබද්ධ ව්‍යාපාරයේ අපගේ මූලිකම අවධානය යොමු වුණේ රටෙහි ආනයන සීමා කිරිමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීම සහ වෙළෙඳ පොළ අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය කාණ්ඩවල සහ ප්‍රමාණයේ ටයර් වර්ග නිෂ්පාදනය ක්‍රමෝපායිකව ඉහළ නැංවීමයි.” සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම නිෂ්පාදන අතරින් කාර් සහ වෑන් රේඩියල් ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර ආනයනය කිරීම වසංගත තත්ත්වය හේතුවෙන් පමාවීමක් සිදු වුණු බවත් සභාපතිවරයා පවසයි.

“මෙම යන්ත්‍ර ආනයනය කිරිම දැන් සිදු කර තිබෙන අතර ඒවායේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ හරහා CEAT වෙත ටයර් වෙළෙඳ පොළෙහි ඇස්තමේන්තුගත වාර්ෂික ටයර් අවශ්‍යතාවය වන ටයර් ලක්ෂ 12න් ටයර් ලක්ෂ 6ක් සැපිරීම සඳහා හැකියාව ලැබී තිබෙනවා.”

මීට අමතරව තමන් මේ වනවිටත් ට්‍රක්/බස් රේඩියල් ටයර් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා වන කටයුත්තේ නිරතව සිටින බවත්, මෙම 2021/22 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුවේදී සිය නිෂ්පාදන තවදුරටත් වර්ධනය කිරිමටත් සැලසුම් කර තිබෙන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

“කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය සහ මුදල් සහ සැලසුම් අමාත්‍යාංශය සියැට් කැලනි ඒකාබද්ධ ව්‍යාපාරය වෙනුවෙන් තවදුරටත් සිය සහාය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.” යනුවෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, අවධානයට ලක් කෙරුණු මෙම මූල්‍ය වර්ෂයේදී බලපෑ කොවිඩ්-19 වසංගත තත්ත්වය බලපෑම මධ්‍යයේ වුවද සිය සියැට් කැලනි ඒකාබද්ධ ව්‍යාපාරය වෙත වඩාත් සුවිශේෂී ප්‍රතිඵලයක් වාර්තා කිරීමට හැකි වුණු බවද හෙතෙම මෙහිදී සඳහන් කර සිටියි.

ඒ අනුව 2020/2021 මූල්‍යවර්ෂය තුළදී සිය අලෙවි පිරිවැටුම රුපියල් බිලියන 13.942ක් ලෙස සටහන්ව ඇති අතර, පසුගිය මූල්‍ය වර්ෂයේදී එය රුපියල් බිලියන 11.416ක් වූ බවට පත්ව තිබේ. එසේම මෙම කාලය තුළ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 2.117ක් ලෙස සටහන්ව ඇති අතර පෙර වසරේදී එය රුපියල් බිලියන 1.103ක් ලෙස සටහන්ව ඇත.

එසේම 2020/21 මූල්‍ය වර්ෂය තුළ සමාගමේ බදු පසු ලාභය රුපියල් බිලියන 1.9ක් ලෙස සටහන්ව ඇති අතර, පෙර වසරේ එය රුපියල් මිලියන 933ක් ලෙස සටන්ව තිබුණි. කෙසේ වෙතත් සමාගමේ අපනයන ආදායමේ අඩුවීමක් දැකගත හැකිය. ඒ අනුව 2020/21 මූල්‍ය වර්ෂයේ එය රුපියල් මිලියන 996ක් ලෙස සටහන්ව ඇති අතර, පසුගිය වසරේදී එය රුපියල් බිලියන 1.3ක් වී තිබේ.

ඒ අනුව මෙම කාලසීමාව තුළදී සමාගම දැක් වූ කාර්යසාධනයත් සමගින්ම සමාගමේ අධ්‍යක්ෂවරුන් 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 5ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇති බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 402ක් බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 286