‘ලක්සල‘ වරලත් අලෙවි සැලක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහිදී පිහිටුවීමට යයි

රජයට අයත් ‘ලක්සල‘ ආයතනයේ ප්‍රදර්ශනාගාරයක් සහ වරලත් අලෙවි සැලක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහි පිහිටුවීමට අදාළ ව්‍යාපාරික ගිවිසුම් ගතවීම තුම්මුල්ලේ පිහිටි ‘ලක්සල‘ සභාපති කාර්යාලයේදී ඊයේ දිනයේදී සිදුව තිබේ.  

බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයෙහි පූර්ණ සම්බන්ධීකරණය හා දායකත්වය යටතේ මෙම ගිවිසුම් ගතවීම සිදුව ඇත.

ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” ආයතනය හා ඇමෙරිකාවේ පිහිටි ‘බූම් ලංකා බතික් ඇන්ඩ් ගිෆ්ට්ස් එල්.එල්.සී ආයතනය (සිලෝන් ගැලරි)’ අතර මෙම ව්‍යාපාරික ගිවිසුම් අත්සන් තැබීම සිදුව ඇත.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට “ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීමක් සිදු වන අවස්ථාවක් බවටත් මෙය පත්ව තිබෙන බව බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

“ලක්සල” සන්නාමය යටතේ ඉදිරිපත් වන මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ භාණ්ඩ ඇතුළුව බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි හා ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග හා දේශීය රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදන මෙම වරලත් අලෙවිසැල මගින් ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

එසේම මෙවැනි “ලක්සල” අලෙවි ප්‍රදර්ශනාගාර 50ක් ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත තුළද ස්ථාපිත කිරීමට සියළු කටයුතු සූදානම් කර අවසන් බවත් එම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම “ලක්සල” නව කළමනාකාරීත්යේ ව්‍යාපාරික සැලැස්ම යටතේ 2023 වසර අවසන් වීමට ප්‍රථම මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව හා මැදපෙරදිග යන රටවල් තුළද විවෘත කිරීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවත් සඳහන් වෙයි.

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය මත විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීමෙන් 90% කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්මක් යටතේ පූර්ණය කර ගැනීම හා දේශීය නිෂ්පාදකයන්ට ශක්තිය සැපයීම මෙහි මූලික අරමුණ බවද අමාත්‍යාංශය පවසයි.

මෙම අවස්ථාව සඳහා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති, ලක්සල ආයතන සභාපති නීතීඳ ලක්මල් වික්‍රමආරච්චි, සිලෝන් ගැලරි වරලත් නියෝජිත ආයතන සභාපති සුදර්මා වර්ණකුලසූරිය මෙනෙවිය සහ එම ආයතනයේ කළමනාකරතුමන් හා ලක්සල ආයතනයෙහි කළමනාකරතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මහත්ම මහත්මීන්ද සහභාගි වී තිබේ.

Visits: 79